උතුරෙන් පැන එන අය වළක්වන්න ඉන්දීය මුහුදේ ‘වැටක් බඳියි’

205

උතුරේ සිට ඉන්දියාවට වැසියන් පලා යෑම වළක්වා ගැනීම සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අලුතින් යාත්‍රා කීපයක්ම ඉන්දීය මුහුදේ මුර සංචාරක කටයුතු සඳහා 11 වැනිදා සිට යොදවා තිබේ.

මේ සඳහා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අලුතින් යාත්‍රා 16ක් යොදා ඇති අතර ඉදිරි කාලයේ දී තවත් අමතර යාත්‍රා 9ක් යෙදවීමට පියවර ගනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

උතුරේ දෙමළ වැසියන් මේ දිනවල සරණාගතයන් වශයෙන් ඉන්දියාවට පලා යෑමට පටන් ගැනීමත් සමගම ඔවුන්ට සරණාගතභාවය ලබාදීමට තමිල්නාඩුවේ දේශපාලන අධිකාරිය තීරණය කර ඇතත් ඒ සම්බන්ධයෙන් මධ්‍යම රජයේ අමාත්‍යවරුන් කීපදෙනකුගේ ම විරෝධය එල්ල වී තිබේ.

මේ තත්ත්වය මත උතුරෙන් ඉන්දියාවට පලා යන සරණාගතයන් නවතාලීමේ අරමුණින් ඉන්දීය සාගරයේ ආරක්ෂක කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

නමුත් මේ වන විට උතුරේ පුද්ගලයන් 84දෙනකු ඉන්දියාවට පලා ගොස් සරණාගතභාවය ලබා ගෙන ඇති අතර එසේ ගිය තවත් දෙදෙනකු මත්ද්‍රව්‍ය චෝදනාවන් මත ඉන්දීය බන්ධනාගාරයක රඳවා සිටියි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment