උතුරේ සිට දකුණට ගංජා ප්‍රවාහන ජාවාරම්කරුවෝ මාට්ටු – බස් දෙකක ලක්ෂ දහයකට වැඩි කේරළ ගංජා

93

උතුරේ සිට දකුණට මගී ප්‍රවාහන බස් රථ මාර්ගයෙන් කේරළ ගංජා ප්‍රවාහනය කරන ජාවාරම්කරුවන් තිදෙනකු ලක්ෂ දහයකට වැඩි කේරළ ගංජා තොගයක් සමග රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ යාපනය පලෙයි ප්‍රදේශයේ සහ කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි, 28, 32 සහ 36 වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.

කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල සමන් වික්‍රමනායක මහතාගේ උපදෙස් හා නියෝග මත ඒ-9 මාර්ගයේ පූනෑව පොලිස් වසමේදී හදිසි මාර්ග බාධකයක් යොදා සිදු කළ මෙම සෝදිසි මෙහෙයුමේදී, සුක්ෂම ලෙස සඟවා රැගෙන ගිය මෙම කේරළ ගංජා තොගය සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.

යාපනය සිට තංගල්ල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් නවතා සිදු කළ පරීක්ෂාවකදී කිලෝ එකක් ලෙස සැකසූ ගංජා පාර්සල් දෙකක් සමග පලෙයි ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරුවන් දෙදෙනා විසින් තංගල්ල ප්‍රදේශයේ ගැනුම්කරුවකුට ලබා දීමට මෙම ගංජා තොගය රැගෙන යමින් තිබූ බව පොලිසිය කියයි.

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් නවතා සිදු කළ පරීක්ෂාවකදී කේරළ ගංජා කිලෝ එකක් සමග සමඟ කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත්, මෙම සැකකරු විසින් වරකාපොළ ප්‍රදේශයේ ගැනුම්කරුවකුට ලබා දීමට මෙම ගංජා රැගෙන යමින් සිටි බව පොලිසිය පවසයි.

එම බස් රථ දෙකේ ගමන් කළ සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී සොයාගත් කේරළ ගංජා තොගයේ මුළු වටිනාකම රු. දස ලක්ෂ පනස් දහසකට අධිකය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. මංගල සමන් කුමාර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත පූනෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බණ්ඩාර, පො.සැරයන්වරුන් වන ජයසූරිය (34178), රුවන් (9238), ජයවීර (63730), දසනායක (63669) සහ පුබුදු (42348) ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment