උතුර දකුණ යාකළ භාෂාප්‍රේමී විද්වතා

274

හින්දු බෞද්ධ සංගමයේ ගුරු මඬුල්ල

නීතිඥ එම්.ටී.එස්.ඒ. රාමචන්ද්‍රන් මහතා උපත ලැබුවේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වරනි ප්‍රදේශයේය. වසර 36ක් ජර්මනියේ පදිංචිව සිටින නීතිඥ රාමචන්ද්‍රන් මහතා ජර්මනියේ ජීවත් වුවද ශ්‍රී ලංකා මාතෘ භූමිය සහ ශ්‍රී ලාංකීය ජනතාවගේ සුඛවිහරණය කිසිදා අමතක නොකළේය. ඔහු ඉතා නිහතමානී චරිතයක් වන අතර සෑම විටම මුවගේ සිනහවක් රඳවා තබා ගැනීම මහජනතාව බෙහෙවින් අගය කරන ගුණාංගයකි.

උතුර දකුණ යාකළ භාෂාප්‍රේමී විද්වතා
රාමචන්‍ද්‍රන් මහතා අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා හමු වී.

රාමචන්ද්‍රන් මහතා වසර 30ක් පුරා උතුරු පළාතේ පැවැති ගැටුම්වලින් පසු ඵහි තරුණ තරුණියන් විරැකියාවෙන් පෙළෙන බව අනාවරණය කරගත්තේය. එම තරුණ තරුණියන්ට උතුර පළාත හැර සෙසු පළාත්වල රැකියා අවස්ථා තිබුණද, දෙවන භාෂාව පිළිබඳ නිපුණතාවය නොමැතිකම හේතුවෙන් එම රැකියා අවස්ථා ලබා ගැනීමට නොහැකි විය. මෙම ප්‍රශ්නය පිළිබඳ ඔහු එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තරුණ තරුණියන්ට රැකියා ලබා දීමට ජනාධිපතිතුමා එකඟ කරවා ගැනීමට සමත් විය. විදේශාධාර සහිතව දෙවන භාෂාවේ ප්‍රමිතිය ඉහළ නැංවීමට සුදුසු ව්‍යාපෘතියක් යෝජනා කරන ලෙසට රාමචන්ද්‍රන් මහතා වෙත උපදෙස් ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු “හින්දු, බෞද්ධ සංස්කෘතික සංගමය” නමින් සංගමයක් පිහිටුවා ගත්තේය. මෙම සංගමය යටතේ “ජාතික ද්විතීයික භාෂා මධ්‍යස්ථානය – උතුරු පළාත” පිහිටුවන ලද අතර, දෙවන හා තෙවන භාෂා දෙකෙහිම නිපුණතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා පසුගිය වසර දොළොස පුරා ඉංග්‍රීසි සහ සිංහල භාෂා පන්ති නොමිලයේ පවත්වා ඇත. මේ දක්වා සිසුන් විසිදහසකට අධික ප්‍රමාණයක් මෙම පාඨමාලාව සාර්ථකව නිම කර ඇත. තවද, ජනවාර්ගික කණ්ඩායම් අතර සමගිය සහ සුහදතාවය ඇති කිරීම සඳහා මෙම සභාව මගින් හින්දු සහ බෞද්ධ සංස්කෘතික වැඩසටහන් සංවිධානය කර පවත්වාගෙන ගොස් ඇත.

 රාමචන්ද්‍රන් මහතා වසර 1979 සිට 1983 දක්වා නීති උපාධිය හදාරා 1983 වසර අවසානයේ ජර්මනිය බලා පිටත්ව ගියේ ය. එහිදී 1984 සිට 1989 දක්වා වාග් විද්‍යා අධ්‍යයනය හදාරා ඉන් අනතුරුව ජර්මනියේ Bochun විශ්වවිද්‍යාලයේ නීතිය හැදෑරුවේය. ඉන්පසු ඔහු ජර්මනියේ Muthmann සහ Gorenflo සහ ඨදරුබකෙද නීති සංගමයේ රජයේ අනුමත ජර්මාන්-දෙමළ පරිවර්තකයකු බවට පත්විය. පසුව, ඔහු හට Muthmann සහ Gorenflo නීති සංගමයේ උසස් තනතුරු කිහිපයක් ද හිමි විය. මෙම සංගමයේ සේවයේ යෙදෙන අතරතුර රාමචන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවේ සහ ජර්මානු රජයේ නිදහස් දේශපාලන විශ්ලේෂකයකු සහ පර්යේෂකයකු ලෙස සේවය කළේය. එහිදී ඔහු ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ සම්බන්ධීකරණ කටයුතුවල නිරත වූ අතර ඔහු ජර්මනියේ ශ්‍රී ලාංකිකයන්ගේ නඩු දහස් ගණනකට සහභාගි වී ඒවා සාර්ථක ලෙස ජයග්‍රහණය කළේය. නීතිය පිළිබඳ හසල දැනුමකින් යුත් රාමචන්ද්‍රන් මහතා 1992 වර්ෂයේ සිට Muthmann සහ Gorenflo නීති සංගමයේ ඩයස්පෝරාවේ විශේෂ නීති උපදේශක ලෙසද කටයුතු කළේය.

 හින්දු, බෞද්ධ සංස්කෘතික සංගමයේ සමාරම්භක උත්සවයට අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ බෞද්ධ පූජකවරු, උතුරු පළාත් ආණ්ඩුකාර චන්ද්‍රසිරි යන මහත්වරු ද සහභාගි වූහ. එම සංගමයේ අනුශාසක කටයුතු මහින්ද රාජපක්ෂ මැතිතුමා, පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ ලේකම්තුමා විසින් සිදු කළ අතර අනුග්‍රහය එම්.ටී.එස්. රාමචන්ද්‍රන් මහතා ලබා දුන්නේය. මෙහිදී සිංහල භාෂාව හැදෑරූ සිසුන්ට නොමිලයේ එය හැදෑරීමට අවස්ථාව සලසා දුන් අතර පළමු කාණ්ඩයේ අවසන් විභාගයෙන් විශිෂ්ටතම ලකුණු ලබාගත් සිසුන් 200 දෙනාට මහින්ද රාජපක්ෂ මැතිතුමා, විසින් අරලියගහ මන්දිරයේ පිහිටි කාර්යාලයේදී උපහාර පිරිනැමිණි.

 හින්දු බෞද්ධ සංස්කෘතික සංගමය, එහි හුදු මාතෘකාවෙන් බැහැරව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම් අතර ශක්තිමත් පාලමක් ඉදිකිරීම අරමුණු කළේය. 2012 වර්ෂයේදී පූජ්‍ය වීරගොල්ලේ නන්තන හිමියන්ගේ අධීක්ෂණය යටතේ රාමචන්ද්‍රන් මහතා තරුණ සාමනේරවරුන් හට දෙමළ භාෂාව උගන්වන සියලු ගුරුවරුන්ගේ මාසික වැටුප් සඳහා අනුග්‍රහය දැක්වූයේය.

 රාමචන්ද්‍රන් මහතා 2018 වර්ෂයේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ මඟපෙන්වීම මත තංගල්ල වීරකැටිය ප්‍රදේශයේදී සිංහල නිලධාරීන් 450 දෙනකු සඳහා දෙමළ පන්ති පවත්වා ඇත. 2018 වර්ෂයේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඉල්ලීම පරිදි ඔහු ගල්කිස්ස කාල්ටන් සහ ළදරු පාසල වැඩිදියුණු කිරීම සඳහා දායක විය.

 එමෙන්ම රාමචන්ද්‍රන් මහතා යාපනය අර්ධද්වීපයේ නීතිමය, සංස්කෘතික, අධ්‍යාපනය සහ නීතිය හා සාමය සම්බන්ධයෙන් බොහෝ සමාජ ක්‍රියාකාරකම්වල නිරත විය. 2010 සහ 2011 වසරවල උතුරේ තරුණ පරපුර අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගිය විට කඩිනම් පියවර ගෙන මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව නිලධාරීන් දැනුවත් කර ප්‍රාදේශීය පදනමින් පාසල්වල සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් තරුණ පරම්පරාව මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළැක්වීය..

 අධ්‍යාපනයේ වටිනාකම ඉතා හොඳින් හඳුනාගත් ඔහු හට බොහෝ ප්‍රසිද්ධ විද්‍යාල, පාසල් සහ සංවිධාන විසින් සංවිධානය කරන උත්සව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට ඇරයුම් පවා ලැබිණි. කාර්යබහුල දෛනික චරියාවක් තිබුණද එම ඇරයුම් සුහදව පිළිගැනීමට ඔහු නිහතමානී විය. කීර්තිමත් ආදි ශිෂ්‍යයකු ලෙස ඔහු වරණි මහා විද්‍යාලයේ සියලුම උත්සව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පෙනී සිටියේය. අවසාන වශයෙන්, 2010 සිට 2022 දක්වා, හින්දු බෞද්ධ සංස්කෘතික සංගමයේ දෙවන භාෂා වැඩසටහන හරහා උතුරු පළාතේ සිසුන් 20,000 කට අධික පිරිසක් ප්‍රතිලාභ ලබාදී උතුරු පළාතේ විවිධ දිස්ත්‍රික්කවල මධ්‍යස්ථාන 26කදී දෙවන භාෂා පන්ති පැවැත්වීමට කටයුතු සූදානම් කළේය.

 රාමචන්ද්‍රන් මහතාගේ මගපෙන්වීම යටතේ හින්දු බෞද්ධ සංස්කෘතික සංගමය විසින් වවුනියාව දිස්ත්‍රික්කයේ තාණ්ඩිකුලම් පිරමන්දු විද්‍යාලයේ ද්විතීයික භාෂා මධ්‍යස්ථානය විවෘත කරන ලදී. ඔහුගේ ප්‍රධානත්වයෙන් 2018 වර්ෂයේ රාජගිරිය සදම්සෙවණේදී සහතිකපත් ප්‍රදානෝත්සවය පැවැත් වූ අතර ඒ සඳහා වාසුදේව නානායක්කාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද සහභාගි වූහ.

 හින්දු බෞද්ධ සංස්කෘතික සංගමය දේශපාලන පක්ෂ නොතකා සෑම විටම ජනතාවගේ සුබ සිද්ධිය සඳහා පෙනී සිටියේය. කොවිඩ් – 19 වසංගතය හමුවේ දී ද ඔහු ජනතාව වෙනුවෙන් පෙනී සිටියේය. රාමචන්ද්‍රන් මහතාගේ ඉල්ලීම පරිදි මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර-යාපනය ආරක්ෂක සේනා ආඥාපති (SHFQ-J) විසින් 2021 ජනවාරි මස 09 වන දින උදෑසන සිට කොවිඩ් – 19 විෂබීජ නාශක සම්පූර්ණයෙන්ම ඉසින ලද අතර ඔහු පාසල් තුළ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් ගෙන යෑම සඳහා මූල්‍යමය වශයෙන් දායක විය.

 එමෙන්ම එම්.ටී.එස්. රාමචන්ද්‍රන් මහතාගේ ඉල්ලීම පරිදි, මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර -යාපනය ආරක්ෂක සේනා ආඥාපති (SHFQ-J) ඔහුගේ බලසේනාවේ සහාය ඇතිව 2021 ජනවාරි 10 වන දින සියලුම දෙවන භාෂා මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමට සහය වූ අතර රාමචන්ද්‍රන් ඔහුට ස්තූති කිරීමට සෘජුවම පලාලි වෙත ගොස් ඔහුගේ කෘතඥතාවය පළ කර යුද හමුදාව හරහා දෙවන භාෂා මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන ලෙස ඉල්ලා සිටියේය.

 හින්දු බෞද්ධ සංස්කෘතික සංගමයේ ශාඛා කාර්යාලය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පරන්තන් ප්‍රදේශයේ 2021 ජනවාරි මස 28 වන දින විවෘත කරන ලදී. 2021 ජනවාරි මස 30 වන දින විශ්වමඩු මධ්‍යම මහා විද්‍යාලයේ දී සහ 021 ජනවාරි 31 වැනි දින මුල්ලියාවලෙයි විද්‍යානන්ද විද්‍යාලයේද M.T.S. රාම්චන්ද්‍රන් මහතා විසින් සිසුන් 200 කට වැඩි පිරිසක් සමග දෙවන භාෂා පන්ති විධිමත් ලෙස ආරම්භ කරන ලදී.

 හින්දු බෞද්ධ සංස්කෘතික සංගමයේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය, 12 වන සංවත්සරය සහ යාපනය නගර මධ්‍යයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීම 2021 ජූලි 30 වන දින සිදු කෙරුනු ලැබූ අතර යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිවකොළුඳු ශ්‍රීසත්කුණරාජා විසින් කාර්යාල සංකීර්ණය විවෘත කරන ලදී.

 එම්.ටී.එස්. රාමචන්ද්‍රන් මහතා 2021 දෙසැම්බර් 05 වැනි දින යාපනය/කරම්බයික් කුරිච්චි G.T.M.S. පාසැල වෙත ඔහුගේ වියදමින් මුද්‍රණ යන්ත්‍රයක් තෑගි කළේය.

 අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ ඉදිරි වසර පුරාවට ශ්‍රී ලංකාවේ වෙසෙන සිසුන්ගේ දෙවන හා තෙවන භාෂා දෙකෙහිම නිපුණතාවය සාක්ෂාත් කර ගැනීමට මූලික අනුග්‍රහය දැක්වීම සඳහා එම්.ටී.එස්. රාමචන්ද්‍රන් මහතා මේ වන විටත් කටයුතු සූදානම් කර ඇත.

 දේශමාන්‍ය එම්.ටී.එස්. රාමචන්ද්‍රන් මහතා සමාජ සේවයට ලැදි නිහතමානී, චරිතයක් වන අතර ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රජාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටී. විපතට පත් අය ඔහු වෙතට ගොස් සැනසීම ලබන අතර පරාර්ථකාමී සේවයට ඔහු ආදර්ශයක් වනු නොඅනුමානය.

හසිනි ද සිල්වා



 





 

advertistmentadvertistment
advertistmentadvertistment