උදයන් පුවත්පතට මැරයෝ පනිති

311


යාපනයේ පිහිටි උදයන් පුවත් පත් කාර්යාලයට කඩා වැදුණු ආගමික සංවිධානයකට අයත් පනහකගෙන් පමණ සමන්විත පිරිසක් කාර්යාලය තුළ ප්‍රචණ්ඩත්වයෙන් යුතුව හැසිරෙමින් එහි දේපල වලට ඊයේ (09 දා) සවස හානි සිදු කොට ඇති බවට පුවත් පතේ පාලන අධිකාරිය යාපනය පොලීසියට පැමිණිලි කොට තිබේ.
අච්චුවේලී ප්‍රදේශයේ පවත්වා ගෙන යන ආගමික ස්ථානයකින් සිදුවන නීති විරෝධී හා අපචාර ක්‍රියා නිසා පළාතේ පවුල් ගණනාවකට විශාල අසාධාරණයක් සිදුවන බවට උදයන් පුවත් පතේ පල වූ වාර්තාවක් නිසා කෝපයට පත් පිරිසක් පුවත් පත් කාර්යාලය තුලට කඩා වැදී තිබේ.
පුවත් පත් කාර්යාලයට පහර දීමට පැමිණි පිරිස බස් රථයකින් වෑන් රථයකින් හා මෝටර් රථයකින් මෙන්ම යතුරු පැදි වලින්ද පැමිණ ඇති අතර ඔවුන් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුවේ රාජකාරී කළ ආරක්ෂක නිලධාරියා පලවා හැර කාර්යාලයට ඇතුළු වී තිබේ.
පැමිණි පිරිසට මුහුණට මුහුණ හමුවන සියළු දෙනාටම නොසරුප් වචන වලින් ඔවුන් බැන වදිමින් කෙමෙන් කෙමෙන් කාර්යාලය තුළට බලහත්කාරයෙන් ඇතුලු‍ වීමට උත්සහ දරා ඇති අතර කාර්යාලයේ පිරිසක් දොරවල් වැසීම නිසා කලහකාරීන් ඒ අවට තිබූ මල් පෝච්චි උපකරණ වැනි දේට අලාභ හානි සිදු කොට තිබේ.
උදයන් පුවත් පතේ පිරිස මේ සම්බන්ධයෙන් යාපනය පොලීසියට ලබා දුන් දුරකතන ඇමතුමකට අනුව එහි පැමිණි පොලිස් කණ්ඩායමක් කාර්යාල භූමියට ඇතුලු‍ වී සිටි පිරිස ඉවත් කර ඇත.
මෙසේ පැමිණ ඇත්තේ අච්චුවේලී ප්‍රදේශයේ පවත්වා ගෙන යන ආගමික ස්ථානයේ පිරිසක් බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment