උදරයේ ආබාධයට ප්‍රතිකාරයට ගිය පාසල් දැරිය ගැබිනියක් බව හෙළිවේ – දැරිය ගැබිනියක් කළ  තරුණයා අත්අඩංගුවට

1193

වයස අවුරුදු 15 ක බාලවයස්කාර පාසල් සිසුවියක් දූෂණය කර ගැබිනියක් බවට පත් කළ 19 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය පවසයි.

වින්දිත දැරිය, සැකකාර තරුණයා සමග මීට වසරකට පමණ පෙර ප්‍රේම සබඳතාවක් ඇති කර ගෙන තිබෙන බවත්, ඊට දැරියගේ මව අකමැති වී ඇතැයිද පොලිසිය කියයි.

මව කුලී වැඩ සඳහා නිවසින් බැහැරව ගිය පසු, මීට මාසයකට පමණ පෙර තම පෙම්වතා නිවසට පැමිණි බවත් එම අවස්ථාවේදී ඔහු සමග ලිංගිකව හැසුරුණු බවත්, පසුව අවස්ථා කීපයකදීම ලිංගිකව එක් වූ බවත් දැරිය සිදු කළ ප්‍රකාශවල සටහන්ව තිබේ.

උදරයේ හට ගත් ආබාධයක් හේතුවෙන් නාච්චාදූව රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේදී දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයා, මුත්‍රා සාම්පලයක් ලබා ගැනීමෙන් අනතුරුව එය පරීක්ෂාකර බලා දැරිය ගර්භණීභාවයට පත්ව ඇති බව ප්‍රකාශ කර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් හිදෝගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment