උදරයේ වර්ධනය අනුව කුස තුළ වැඩෙන දරුවා ගැන පැවසීම

5124

විවාහක අඹු සැමි යුවලකගේ උතුම්ම බලාපොරොත්තුව දරු සම්පතකි. තම බිරිඳ ගැබ් ගෙන ඇති බවට තහවුරුවූ විට සැමියා තුළ ඇති වන සතුට පවුලේ අන් සියලූ දෙනාටම ද ඇතිවේ. එනිසාම දරු ප‍්‍රසූතිය දක්වා ඇයට හිමි වන්නේ සුවිශේෂී සැලකිල්ලකි. ආහාර පාන ද වෙනදා මෙන් නොව විශේෂත්වයක් දක්වයි. දැන් දෙන්නෙකුට කන්න ඕනේ යැයි පවසමින් දෙමාපියන් නෑ හිතවතුන් ඇයට කන්නට කැමැති ආහාර සකස්කර දෙති. දරුවා ලැබෙන තෙක් ඇයගේ කුසෙහි වර්ධනය ගැනද වැඩි සැලකිල්ලක් දක්වති.

 ගැබිනි මවගේ කුස නෙරා ඇති ආකාරය අනුව දරුවාගේ වර්ධනය

 ගැන මත පළකරන්නට වැඩිහිටියෝ හුරුව සිටිති. නමුත් වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේ ඇති දියුණුව අනුව ඒ සඳහා විශේෂ පරීක්ෂණ ඇත. එම පරීක්ෂණ මගින් දරු කලලයේ වයස සහ වර්ධනය ගැන නිවැරදිව පැවසිය හැකිය.

 වෛද්‍යතුමනි ගැබ්ගත් කාන්තාවකගේ කුසෙහි වර්ධනය වන දරු කලල ගැන නිවැරදිව හ`දුනාගන්නේ කෙසේද?

 දරු කලලයක් කුස තුළ පිළිසිඳගත් පසු පළමු මාස තුන තුළ එහි විශේෂ වර්ධනයක් අපේක්ෂා කරන්නේ නැහැ. එම කාලය තුළ අවධානය යොමුකරන්නේ කලලයේ කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් ඇතිවේදැයි කියා හෝ එය ගබ්සාවීමකට ඇති අවදානමක පවතින්නේ දැයි කියාය.

 දරු කලලය සම්බන්ධ පළමු ස්කෑන් පරීක්ෂාව සිදුකරන්නේ මාස තුනකට පසු එනම් සති 11ත් 14ත් අතර කාලයේදීය. එහි අරමුණ පිළිසිඳගත් දරු කලලයේ දින ගණන නිවැරදිව දැනගැනීමටය. එය දරු කලලයේ වර්ධනය නිරීක්ෂණය සඳහා අත්‍යවශ්‍ය ස්කෑන් පරීක්ෂාවකි.

 ඉන් පසු කුස තුළ වර්ධනය වන දරු කලලය ගැන පරීක්ෂා කිරීමට අවධානය යොමු වෙනවා. එහිදී අපගේ වැඩි අවධානයක් යොමුවන්නේ දරු කලලය නිසිලෙස වර්ධනය නොවන්නේ දැයි කියාය. දරු කලලය නිසි ලෙස වර්ධනය වනවානම් විශේෂ අවධානයක් යොමු කළ යුතු නැහැ. නමුත් දරු කලලය නිසි ලෙස වර්ධනය නොවේනම් ඊට බලපා ඇති හේතු හ`දුනාගෙන නිසි පිළියම් යෙදිය යුතුය.

 ඒ සඳහා දරු කලලයට සති 20 සම්පූර්ණවූ පසු කලලයේ වර්ධනය පිළිබඳව පූර්ව ප‍්‍රසව සායනවලදී අවධානය යොමු කරනු ලබනවා. එහිදී මවගේ උදරයේ උස මැනීම සිදුකර බලනවා. එහිදී උදරයේ වර්ධනය අනුව මව් කුස තුළ ඇති කලලයේ වර්ධනය අඩු යැයි යම් සැකයක් මතු වුව හොත් ඒ සඳහා විශේෂ ස්කෑන් පරීක්ෂාවකට යොමු කරනවා.

 උදරයේ උස මැන බැලීමෙන්ම පමණක් එහි වර්ධනයේ දුර්වලතාවයක් ඇතැයි කියා නිවැරදිව තහවුරු කරගත නොහැකියි. කලලය පිළිසිඳ ගත් දිනය නිවැරව හඳුනාගෙන නැත්නම් උදරයේ උස මැන බැලීමේ දී ලැබෙන අගය වැරදි විය හැකියි. එසේම දරුවා කුස තුළ සිටින ඉරියව්ව අනුවත් උදරය නෙරා ඒම වෙනස් විය හැකියි. එනිසා මෙවැනි අවස්ථාවක් හ`දුනාගැනීමට සති 20 දී සිදුකරන ස්කෑන් පරීක්ෂාව වැදගත් වෙනවා. ඇතැම් කාන්තාවන්ගේ සිරුරු අනුව ද කුස තුළ වර්ධනය වන කලලයට අනුව උදරයේ වර්ධනය දැකිය නොහැකියි. විශේෂයෙන්ම සිරුරේ මේද තට්ටුව අඩු සිහින් සිරුරක් ඇති කාන්තාවන්ගේ උදරයේ වර්ධනය මේද තට්ටුව වැඩියෙන් ඇති කාන්තාවන්ගේ මෙන් දැකිය නොහැකියි.

 වෛද්‍යතුමනි දරු කළලයේ වර්ධනය බාලවීමට බලපාන හේතු මොනවාද?

 ඒ සඳහා බලපාන හේතු වර්ග දෙකක් ඇත. එක් හේතුවක් වන්නේ කලාතුරකින් මතුවන කළලයේ ජානමය විකෘතිතා නිසා හටගන්නා අංගවිකල තාවයන්ය.එහිදී කළලයේ වර්ධනයක් දැකිය නොහැකියි.ඊට අමතරව දරු කළලය හා මව අතර සම්බන්ධතාවය පවතින වැදෑමහේ යම් දුර්වලතාවක් ඇති වුවහොත් දරුවාට මවගෙන් ලැබෙන පෝෂණය අඩුවෙනවා.එහිදීත් දරු කළලයේ වර්ධනය දුර්වල වෙනවා.මෙම හේතු වලට අමතරව ගැබිනි සමයේදී මවට ඇතිවන විවිධ රෝග බලපානවා. විශේෂයෙන්ම අධි රුධිර පීඩන වර්තමානයේ සුලභව දැකිය හැක හේතුවකි. ගැබිනි සමයේදී මවට ඇතිවන මන්ද පෝෂණයත් දරු කලලය නිසි ලෙස වර්ධනය නොවීමට බලපානවා. එසේම වකුගඩු රෝග, හෘද රෝග ආදියත් දරු කලලයේ නිසි වර්ධනය සිදු නොවීමට බලපාන හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව අඩු වයසින් ගැබ් ගත් විට සහ වයස අවුරුදු 35 ඉක්මවා දරු පිළිසිඳ ගැනීමක් සිදුවූ විට ද දරු කලලය නිසි ලෙස වර්ධනය වීමට බාධා ඇතිවෙනවා.

 වෛද්‍යතුමනි මෙවැනි ආකාරයෙන් සිදුවන දරු කලලයේ වර්ධනය බාලවීම නැවත යථා තත්ත්වයට පත් කළ හැකිද?

 කලලයේ වර්ධනය බාලවීමට බලපා ඇති හේතුව අනුව එය තීරණය කළ යුතුයි. මවගේ පෝෂණයේ යම් දුර්වලතාවක් නිසා නම් හෝ අධි රුධිර පීඩන තත්ත්වයක් නිසා නම් ඒ සඳහා වමට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදී කලලයේ වර්ධනය යළි සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැකියි.

 කෙසේ වෙතත් මෙලෙස දරු කලලයේ වර්ධනය බාලවීමක් ඇතිවිට අප වැඩි අවධානයක් යොමුකරන්නේ කුස තුළදී දරුවාගේ කලලයේ වර්ධනය පවත්වාගෙන යාහැකි උපරිම අවස්ථාවට පත්කර දරුවා මවු කුසෙන් එළියට ගැනීමටය. ඉන්පසු මව් කිරි මගින් දරුවාගේ වර්ධනය ඇති කළ හැකියි. මන්දයත් දරු කලලයේ වර්ධනය කුස තුළදී සම්පූර්ණයෙන් නිවැරදි මට්ටමට ගෙනඒම අපහසුයි. එනිසා හැකිතාක් ස්වභාවික අයුරින් ප‍්‍රසූත කළ හැකි මට්ටමට කලලය වර්ධනය කර ගැනීමට අවශ්‍ය උපරිම පියවර ගන්නවා. එසේ කළ නොහැකිනම් දරුවා කුසින් ඉවතට ගතහැකි උපරිම මට්ටමට පැමිණි පසු සිසේරියන් සැත්කමකින් දරු ප‍්‍රසූතිය සිදුකරනවා.

 වෛද්‍යතුමනි මෙලෙස බිහිවන දරුවා අඩුබර දරු උපතක් ලෙස සලකනවාද?

 සාමාන්‍යයෙන් නිරෝගී බර සහිත දරු කලලයක් ලෙස සලකන්නේ සති 36කදී කලලයේ බර කිලෝ ග‍්‍රෑම් 2.5ක අගයක පවතිනවා නම්ය. එසේම සති 36කදී කලලයේ බර කිලෝ ග‍්‍රෑම් 2ත් 2.5ත් අතර පවතිනවානම් එම දරුවාට ද සංකූලතා ඇතිවීමට ඇති ඉඩකඩ අවමය. ඊට අඩුනම් දරුවාට සංකූලතා ඇතිවීමට ඇති ඉඩකඩ වැඩියි. එවිට දරුවාගේ වර්ධනය නිසි මට්ටමට පැමිණෙන තුරු විශේෂඥ වෛද්‍ය උපදෙස් මත විශේෂ ප‍්‍රතිකාර ඒකකයකට යොමු කරනවා.

 වෛද්‍යතුමනි අඩුබර උපත් ලෙස බිහිවන දරුවන්ගේ මොළයේ වර්ධනයට යම් බලපෑම් ඇතිවිය හැකිද?

 අඩු බර දරුවන්ගේ මොළයට හානි සිදුවීමට ඇති ඉඩ කඩ ඉතා අවමය. එසේ සිදුවිය හැක්කේ කලලයේ බර ඉතා අඩුවී මොළයට ලේ ගමනාගමනය බාධා ඇතිවීමක් සිදුවුවහොත් පමණි. එවැනි අවස්ථාවන් සහිත අඩු බර දරු උපත් දැකිය හැක්කේ ඉතා කලාතුරකිනි.

උදරයේ වර්ධනය අනුව කුස තුළ වැඩෙන දරුවා ගැන පැවසීම


advertistmentadvertistment
advertistmentadvertistment