උද්ඝෝෂකයෝ ඔස්ටේ‍්‍රලියාවේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබති

544

ඔස්ටේ‍්‍රලියාවේ ස්වදේශීය ජන කොටස වන ‘ඇබොරිජින්වරුන්’ ට වැඩි ස්වාධීනත්වයක් ලබා දෙන ලෙස ඉල්ලා එරට අගනුවර වන කැන්බරා නගරයේ ඊයේ (29දා) පැවති උද්ඝෝෂණයකදී උද්ඝෝෂකයෝ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා ඇත.

පොලිසිය හා ජනමාධ්‍යවේදීන් සමග ගැටුම් ඇති කරගෙන තිබෙන උද්ඝෝෂකයෝ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තැබීම හේතුවෙන් ඓතිහාසික ගොඩනැගිල්ලේ පිවිසුම් කොටසට හා දොරවල්වලට හානි සිදුව තිබේ. ගොඩනැගිල්ලට ගිනි තැබීමෙන් පසු එතුළ සිටි සියලූ දෙනා නිරුපද්‍රිතව ඉවත් කිරීමට බලධාරීන් විසින් ක‍්‍රියා කර ඇති අතර ගින්න පැතිරීමට පෙර නිවා දැමීමට ගිනි නිවන හමුදා භටයන් විසින් පියවර ගෙන තිබේ. 1927 වසරේ සිට 1988 දක්වා වූ කාලය තුළ පාර්ලිමේන්තු සැසිවාර පවත්වා ඇති මෙම පැරණි ඔස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මේ වන විට ජනප‍්‍රිය සංචාරක පුරවරයක් වන අතර ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කෞතුකාගාරය පිහිටා ඇත්තේ ද එම ගොඩනැගිල්ල තුළය. ඇබොරිජින්වරුන්ට වැඩි ස්වාධීනත්වයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණය පවත්වා ඇති බව පැවසුණද ගොඩනැගිල්ලට ගිනි තැබීමේ සිද්ධිය සජීවීව ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විකාශනය කර ඇත්තේ ඔස්ටේ‍්‍රලියානු ජාතිකයන් පිරිසක් විසින් පිහිටුවාගෙන ඇති කොරෝනා එන්නත් අනිවාර්යය කිරීමට එරෙහි මිලියන ගණනකගේ පෙළපාලිය නමැති සංවිධානය විසිනි. ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සංකේතය සේ සැලකෙන පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මෙසේ ගිනි තැබීම පිළිබඳව අගමැති ස්කොට් මොරිසන් තම දැඩි විරෝධය පළ කර තිබේ.

විදෙස් පුවත් සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment