උද්ඝෝෂණයට බාධා කළැයි සජබ මන්ත‍්‍රීවරු මැතිසබේ විරෝධතා

77

සමගි ජනබලවේගය විසින් පෙරේදා (16 දා) කොළඹදී පවත්වන ලද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයට පොලිසිය යොදවා මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා බාධා කළ බවට චෝදනා කරමින් සජබ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) විරෝධය දැක්වූහ.

විවිධ පුවරු ප‍්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් සමගි ජනබලවේගය මන්ත‍්‍රීවරු ‘සරත් ලැජ්ජයි සරත්’ යැයි කෑකෝ ගසමින් විනාඩි 20ක පමණ කාලයක් මෙසේ විරෝධය පළ කළහ.

සිව්වැනි දිනයටත් අයවැය විවාදය ආරම්භ කළ ඊයේ සමගි ජනබලවේගය වෙනුවෙන් එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අදහස් දැක්වීමේදී සිය පක්ෂය සංවිධානය කළ විරෝධතාවට පොලිසිය බාධා කළ බව කියා සිටියේය.

එහිදී මද්දුමබණ්ඩාර මහතා ආණ්ඩුවට චෝදනා කරමින් අදහස් දක්වා අවසාන වනවිට එතෙක් සඟවා ගෙන සිටි විවිධ සටන් පාඨ සහිත පුවරු ප‍්‍රදර්ශනය කරමින් සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරු මැතිසබයේ කෑකෝ ගසන්නට වූහ. ‘නිළියන්ට යට ඇඳුම් ජනතාවට පොලූ පහර’ ඇඹිලිපිටිය ඉන්දිකගේ මිනීමරුවා පොලිස් ඇමැතිද? පොලිස්පතිද? පොලිසිය සජබට බයද’ පොලිස්පති ආණ්ඩුවට කඬේ යයි. ‘සරත් ලජ්ජයි’ යනුවෙන් එම පුවරුවල ලියා තිබිණි. ඒ අතරතුර මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා ආණ්ඩු පක්ෂය දෙසින් සභාගැබට පිවිසි අතර විරෝධතාවේ නිරතවූ විපක්ෂ මන්ත‍්‍රීවරු ‘අන්න මිනීමරුවා එනවා’ යැයි කියමින් හූ කියන්නට වූහ.

මේ අවස්ථාවේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා සජබ උද්ඝෝෂණයට පොලිසිය කළ බලපෑම් පිළිබඳව කියා සිටියේය. ඔහුගේ අදහස් දැක්වීම අවසන්වීමත් සමගම විරෝධතාවද අවසන් විය.සජබ මන්ත‍්‍රීවරුන්ගේ විරෝධයට පෙර එම පක්ෂය මෙසේ පැවසූහ.

චමින්ද විජේසිරි මහතා – මේ කටයුත්ත අපි නීත්‍යනුකූලව සිදු කළේ. අධිකරණ කිහිපයකින්ම අපට අවසර ලැබුණා. එහෙත් පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර මහතා මේකට වගකියන්න ඕනෑ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – ජනතා බලය තමයි පාර්ලිමේන්තුවේදි නීති හදලා අධිකරණයට ලබා දෙන්නේ. උසාවිවලින් ලබාදෙන තීන්දු ගැන අපි අවධානයෙන් ඉන්න ඕනෑ. ඊයේ සමගි ජනබලවේග උද්ඝෝෂණයක් සංවිධානය කළා. අධිකරණ කිහිපයක්ම මේකට තහනම් නියෝග ලබාදුන්නේ නෑ. ඒත් පොලිසිය හැමතැනම ගිහින්…. මගේ ආසනයටත් ගිහින් මිනිස්සු බයකරලා අවුල් ජාලාවක් කළා. මෙය මන්ත‍්‍රී වරප‍්‍රසාද කඩවීමක්. අපි තමයි මේක සංවිධානය කළේ. පොලිස්පතිට බැහැ බලය අතට ගන්න.

ජේ. සී. අලවතුවල මහතා – ඊයේ ජනාතාවට විශාල කරදරයක් විඳින්න වුණා. මොන නීතිය යටතේද පොලිස්පති චත‍්‍රලේඛ නිකුත් කරලා කටයුතු කළේ? පොලිසිය ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment