උද්ඝෝෂණ නවත්වන්න ආවොත් ජනතාව සමඟ පාරට බහිනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මීගමුවේදී කියයි

83

මීගමුව කියන්නේ දිවයිනේ ප්‍රධාන ධීවර නගරවලින් එකක්. එදා සතුටින් කල් ගෙවපු ධීවර ජනතාව අද දුක්ඛිත තත්ත්වයට පත්වෙලා. රටට බරක් නොවී සිටින ධීවර ජනතාවට අද රජයෙන් සහන ලබා දෙන්නේ නැහැ. බිලී කට්ටේ ඉඳන් ධීවර යාත්‍රාව දක්වා මිල දරන්න තරං බැරි ලෙස මිල වැඩිවෙලා. ධීවරයන්ට සහනයක් ලබාදිය හැක්කේ සමගි ජනබලවේගයේ රජයකට පමණකැයි සමගි ජනබලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 26 දා මීගමුවේදී පැවසීය.

ඔහු එලෙස පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ මීගමුව ප්‍රධාන සංවිධායක වෛi කාවින්ද ජයවර්ධන මහතා විසින් මීගමුව මුන්නක්කරය අලියාපොළ ක්‍රීඩාංගණයේ පැවති සමගි ජනබලවේගයේ ප්‍රචාරක රැලියක් 26 දා අමතමිනි.

තවදුරටත් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය. රටක් ගොඩනගන්න පැහැදිලි ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. එවැනි ආර්ථික සැලැස්මක් රජයට නැහැ. ඒ නිසා දිනෙන් දින රට ප්‍රපාතයට යනවා. අද සංචාරක කර්මාන්තය ඇදවැටිලා. සංචාරක කර්මාන්තයට බදු පිට බදු ගහලා අසරණ කරලා. එවැනි තත්ත්වයක් තියෙද්දී සංචාරක කර්මාන්තය වැඩිදියුණු කරන්නේ කෙසේද. රටේ ජනතාවට මනාව වැටහිලා තියෙනවා. අලුත් රටක් ගොඩනගන්න ඔවුනට ඇති විකල්පය සමගි ජනබලවේගයේ රජයකට රට භාරදීම පමණක් කියලයි.

අපේ රජයක් බලයට පත් වූ විගස රටේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා. දැන් රටේ තියෙන්නේ ගිරාපෝතකයන්ගේ අධ්‍යාපන ක්‍රමයයි. අධ්‍යාපනය කට පාඩම් කිරීමයි. ඒ ක්‍රමය අත්හැරලා සිතන්නට උගන්වන්න ඕන. මීගමුව කටුවපිටිය ඇතුළු දේවස්ථානවලට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් විමර්ශනයක් පවත්වනවා. එදා පොදු පෙරමුණට අවශ්‍ය වූයේ පාස්කු ප්‍රහාරය තුළින් රටේ බලය ලබාගැනීමයි. බලය ලැබුණායින් පසු පාස්කු ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ ජනතාව අමතක කළා. එම ප්‍රහාරය පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් පවත්වලා පාස්කු ප්‍රහාරයේදී වැගිරුණු සෑම ලේ බිඳුවක් පාසාම සාධාරණය ඉටුකරනවා.

අද පාර්ලිමේන්තුවේ ලොකු ලොක්කො විදිහට කථා කරන අයවළුන්ට ගමට යන්න බැහැ. රටේ ජනතාව, ගමේ ජනතාව ඔවුන්ව ප්‍රතික්‍ෂේප කරනවා. මහජන උද්ඝෝෂණ නවත්වන්න රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කරන බව කියනවා. ඒත් උද්ඝෝෂණ කරන්න ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවසර දීලා තියෙනවා. ජනතාව මැඬපවත්වන්න රජය සූදානම් වුණොත් රටේ ජනතාව ලක්‍ෂ ගණනින් පාරට බස්සවන්න සජිත් ප්‍රේමදාස සූදානම්. ධීවර ජනතාව වෙනුවෙන් නව තාක්‍ෂණය ඔස්සේ ධීවර කර්මාන්තය නංවා මත්ස්‍යයන් පිටරටට අපනයනය කරන ආර්ථිකයක් හදන්න සමගි ජනබලවේගය සූදානම් යැයි සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment