උද්ඝෝෂණ වැඩි වුණොත්  හමුදා පාලනයක් එයි – විග්නේෂ්වරන් කියයි

744

රටේ ජනතාව රජයට එරෙහිව සිදු කරන උද්ඝෝෂණ වැඩි වුවහොත් ඉතා ඉක්මනින්ම මේ රටේ හමුදා පාලනයක් ගොඩ නැගෙන බවත් එවැනි බැරෑරුම් තත්ත්වයකට රට පත් වීමට ඉඩ නොදිය යුතු බවත් දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා 4 දා පැවසීය.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව යුද හමුදා පාලනය පිළිබඳව ඉතා හොඳින් දන්නා නිසා ඔවුන් ඊට දැඩි අකැමැත්තක් දක්වන නමුත් දකුණේ ජනතාවට ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බවයි.

රජයට එරෙහිව ජනතාව කැරලි ගසන විට පාලකයින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඒ ඒ ප්‍රදේශ යුද හමුදාවේ පාලනයට බාරදීම අනිවාර්යෙන්ම සිදුවන බව කී මන්ත්‍රීවරයා එවැනි පාලන ක්‍රමයක් තුළ මර්දනයක් ඒකාධිපතිත්වයක් දරදඬුකමක් මිස ප්‍රජාතාන්ත්‍රීය ගති ලක්ෂණයක් දැක

ගැනීමට නොහැකි වන බවද කියා සිටියේය. මේ නිසා රටේ ජනතාව අත වනා ආචාර කොට දුර්දාන්ත පාලන ක්‍රමයක් මේ රටට යළි ඇති නොකිරීමට වගබලා ගත යුතු බව කී හෙතෙම තමන් හා තම පක්ෂය ද මේ වර්තමාන දේශපාලන ක්‍රමය අනුමත නොකරන බව පැවසීය. නමුත් වත්මන් පාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අරගලයක් දියත් කිරීමට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මගක් සොයා ගත යුතු බවත් එය එසේ නොකළහොත් මෑත කාලීන අනාගතයේදීම රට තුළ විශාල ලේ වැගිරීමක් හා මානුෂීය නොවන පාලන ක්‍රමයක් ආරම්භ විය හැකි බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

තමන් කිසි විටකත් යුද හමුදාවට එරෙහි අයකු නොව ඔවුන්ගේ දරදඬු පාලන ක්‍රමයට විරුද්ධ අයකු බව පෙන්වා දුන් විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා තමන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් වූ දිනයේම යුද හමුදාව උතුරේ සිටීමට විරුද්ධ වූයේ ඒ නිසාම බවද පැවසීය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment