උද්ධමනය දමනය කරන අයිඑම්එෆ් මන්තරයට බන්ධනයක්!

253

අතුරු අයවැය අනිද්දා

ගිය වසරේ (2021) නොවැම්බර් මස හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයවැය වෙනුවට මේ වසරේ (2022) ඉදිරි කාලය වෙනුවෙන් ඉදිරිපත් කරන අතුරු අයවැය අගෝස්තු 30 වැනිදා පස්වරු 1.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වසර සඳහා ගිය නොවැම්බරයේ අයවැය ඉදිරිපත් කරනවාට වඩා සමාජ ආර්ථික හා දේශපාලන තත්ත්වයන් පසුව වෙනස් වූ බව කවුරුත් දන්නා දෙයකි. ඒ නිසා ඒ වන විටත් ඉදිරිපත්ව තිබූ අයවැය වෙනුවට නව අයවැයක් මේ වසරේ (2022) ඉදිරි කාලය වෙනුවෙන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇති විය. මේ නිසා මේ අතුරු අයවැය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර ඉදිරි ආර්ථික හා විදේශ විනිමය අභියෝග ජයගත හැකි සැලසුම් හා යෝජනා සහිතව මේ අයවැය ඉදිරිපත් කිරීම අවශ්‍ය වනු ඇත. හැකිතාක් උපරිම මට්ටමින් රාජ්‍ය වියදම් සීමා කරගනිමින්, බිඳ වැටී ඇති රාජ්‍ය ආදායම් වර්ධනය කරගනිමින් සහ විශේෂයෙන් විදේශ විනිමය ආදායම් වර්ධනය කරගැනීම දිරි ගැන්වෙන යෝජනා සහිතව මේ නව අයවැය ඉදිරිපත් වනු ඇතැයි අපට සිතිය හැකිය. මේ අනුව අපට තවදුරටත් අමාරු සහ දුෂ්කර කාලයක් ගත කිරීමට සිදුවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. මේ නිසා අපගේ අතිශය අමාරු ආර්ථික තත්ත්වයන් අනුව රජයේ ඉහළම මට්ටමේ සිට එනම් ජනාධිපතිවරයාගේ සිටම පහළම රාජ්‍ය සේවකයා දක්වාම පටි තද කර ගැනීමට සිදුවනු අතර ඒ ආදර්ශය ඉහළ මට්ටමේ සිටම ලබාදිය යුතුය. අනිත් අතට පොදුවේ ජනයාට ද පටිතද කර ගැනීමට සිදුවේ. එය දැනටමත් කාලයක් තිස්සේම සිදුව ඇති දෙයකි. අහස උසට බඩු මිල ඉහළ ගොස් ජීවන වියදම හොඳටම වැඩි වී ඇති තත්ත්වය හමුවේ ඔවුන්ට කනබොන දේවල පවා සීමා කර ගැනීමට සිදුව ඇත. මේ අතුරු අයවැය ගෙන එන්නේ මෙවැනි පසුබිමකය.

මේ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කතාව අගෝස්තු 30 වැනිදා සිදුකරනු ලබයි. ඉන්පසුව අනතුරුව විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන අගෝස්තු 31 සැප්තැම්බර් 01 සහ 02 යන දිනවල පැවැත්වේ. 2022 මුදල් වර්ෂය සඳහා අවශ්‍ය සේවා වියදම් සහ විධිවිධාන සැලසීමේ අරමුණින් එවකට මුදල් අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව සභා සම්මත කර ගැනිණි. ඒ අනුව එම විසර්ජන පනත් කෙටුම්පත පනතක් වශයෙන් 2021 දෙසැම්බර් 10 වැනි දින සහතික කරන ලදී. ඒ අනුව එය 2021 අංක 30 දරන විසර්ජන පනත බවට පත් විය. එහෙත් පසුගිය කාලයේ උග්‍ර වූ ආර්ථික අර්බුදය ඒ නිසාම ඇති වූ තෙල් හිඟය ගෑස් හිඟය, බඩු මිල වේගයෙන් වැඩි වීම සහ විදුලි කැපිල්ල යනාදී හේතු නිසා රජයට විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව බලවත් ජනතා විරෝධතා ඇති වූ අතර ඒ හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට මෙරට විධායක ජනාධිපතිවරයෙකුට රටින් පිටව ගොස් ඉල්ලා අස් වීමට සිදුවිය. පසුව වැඩබලන ජනපති ලෙස ද ක්‍රියාකළ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතර ජන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත් විය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු 2022.07.28 වැනි දින පාර්ලිමේන්තුව වාර අවසාන කළේය. පසුව 2022 අගෝස්තු 3 වැනි දින නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ආරම්භ කෙරිණි. ඒ අනුව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් නව අයවැයක් ඉදිරිපත් කරන බව එහිදී රටට ප්‍රකාශ කළේය.

නව රජයක් වශයෙන් 2022 මුදල් වර්ෂයේ ඉතිරි කාලය සඳහා මෙම විසර්ජන පනත් කෙටුම්පත පෙර ඉදිරිපත් කරන ලද විසර්ජන පනතට සංශෝධනයක් වශයෙන් පාර්ලිමේන්තුවට මේ අතුරු අයවැය ඉදිරිපත් වේ. 2021 අංක 30 දරන විසර්ජන පනත් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමු වන වර කියවීම වශයෙන් 2022 අගෝස්තු 09 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කළේය. එම පනත් කෙටුම්පතට අනුව, 2021 අංක 30 දරන විසර්ජන පනතේ 2 වැනි වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් වූ රුපියල් දෙදහස් හත්සිය අනූ හය බිලියන හාරසිය හතළිස් හය මිලියන පන්සිය පනස්අට දහසක් (රු. 2,796, 446,558,000) යන වචන වෙනුවට රුපියල් තුන් දහස් දෙසිය හැත්තෑ පස් බිලියන අටසිය හැත්තෑ හය මිලියන පන්සිය පනස් අට දහසක් (රු. 3,275,876,558,000) යන වචන ආදේශ කර ඇති බව මෙම පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේ පර්යේෂණ අංශය සකස්කළ පසුබිම් සටහනේ දැක්වේ. මේ සංශෝධනයේ බලපෑම වන්නේ රු. බිලියන 929.4 කින් අමාත්‍යාංශ සේවා කාර්යය සඳහා අවශ්‍ය වන වියදම් වැඩිවීමයි. පෙර ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පතට අනුව, 2022 මුදල් වර්ෂය සඳහා ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම් දැරීමට 2022 ජනවාරි මස 1 වැනි දින සිට 2022 දෙසැම්බර් 31 වැනි දක්වා රු. බිලියන 2,796.4 ක මුදලක් ඇස්තමේන්තුගත කොට තිබිණි. නව සංශෝධනයට අනුව 2022 වර්ෂයේ ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම් දැරීමට වෙන් කළ මුදල රු. බිලියන 3,275.8 කි. මේ අනුව ඒ සඳහා ඇස්තමේන්තු ගත මුදල රු. බිලියන 929.4 කින් වැඩි වේ.

එසේම මේ විසර්ජන පනතේ 2 වැනි වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ අඩංගු රුපියල් බිලියන තුන්දහස් දෙසියයක් (රු. බිලියන 3,200) වන වචන වෙනුවට රුපියල් බිලියන හාර දහස් අසූ දෙකක් (රු. බිලියන 4,082) යන වචන ආදේශ කිරීමෙන් ද සංශෝධනය කර ඇත. සංශෝධනයේ බලපෑම වන්නේ රජයේ ණය ගැනීමේ සීමාව රු. බිලියන 892 කින් පමණ වැඩි කොට තිබීමයි. එනම් 2022 මුදල් වර්ෂය තුළ ශ්‍රී ලංකාව තුළින් හෝ ඉන් බැහැරින් ලබාගන්නා ණය මුදල එම වර්ෂය තුළ රු. බිලියන 3,200 සිට රු. බිලියන 4,082 ක මුදලක් දක්වා වැඩි කරනු ලැබේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව රජයේ ණය ගැනීමේ සීමාව රු. බිලියන 882 කින් පමණ වැඩි කොට ඇත. මේ අතර පැවති විසර්ජන පනතේ 2 වන වගන්තියේ 4 වන උපවගන්තියේ සඳහන් රුපියල් දෙදහස් හයසිය විසි තුන් බිලියන එකසිය විසි තුන් මිලියන හාරසිය හතළිස් දෙදහසක් (රු. බිලියන 2,623) යන වචන වෙනුවට රුපියල් දෙදහස් නවසිය එක් බිලියන එකසිය විසිතුන් මිලියන හාරසිය හතළිස් දෙදහසක් (රු. මිලියන 2,901) යන වචන ආදේශ කර ඇත. මේ සංශෝධනයේ බලපෑම වන්නේ 2022 මුදල් වර්ෂය තුළ සේවා වියදම් සඳහා නීති මගින් ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය යුතු බවට බලය ලබාදෙන රජයේ ඇස්තමේන්තුගත වියදම හෙවත් ණය සේවාකරණ වියදම රු. බිලියන 2,623 සිට රු. බිලියන 2,901 දක්වා වැඩි කිරීමට අවස්ථාව ලැබීමයි.

උද්ධමනය දමනය කරන අයිඑම්එෆ් මන්තරයට බන්ධනයක්!

2021 විසර්ජන පනතට නව සංශෝධනය මගින් තවත් නව වගන්තියක් ද ඇතුළත් කර ඇත. එනම් 2022 ජනවාරි මස 1 වැනි දින සිට 2022 දෙසැම්බර් මස 31 දක්වා වූ කාලසීමාව තුළ වියදම් සඳහා මුදල් ප්‍රතිපාදන සලස්වමින් පාර්ලිමේන්තුව විසින් 2022 වසර තුළ මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාව යටතේ සම්මත කරනු ලැබූ යෝජනාවල කුමක් සඳහන් වුවත්, අදාළ යෝජනා සම්මතවල නිශ්චිතව දක්වා ඇති යම් ශීර්ෂයක් යටතේ දැක්වෙන යම් වැඩසටහනකට වෙන් කරන ලද මුදල්වලින් අදාළ කාලසීමාව තුළ දී වියදම් කරන ලද එකී සියලු මුදල් ප්‍රමාණය මෙම නව පනත ආරම්භ වන දිනට පෙරාතුවම වූ දිනයේ දී වියදම් කර නොමැති යම් මුදලක් වේ ද මෙම පනතේ උපලේඛනවල නිශ්චිත දක්වා ඇති ශීර්ෂ යටතේ වූ වියදම් දැරීමට එම මුදල් ද වෙන් කරන ලද මුදල් ලෙස සැලකිය යුතු බවටය. මේ අනුව අනිද්දා (30) ජනපතිවරයා ඉදිරිපත් කරන නව අයවැය සැලසුම් සහ නව අයවැය යෝජනා දෙස අපි බලා සිටිමු.

මන්ත්‍රීවරුන්ට ආර්ථිකය ගැන
සංවාදමය කතිකාවක්

‘ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ’ මැයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙහෙයවනු ලබන සංවාදමය කථිකාවක් ද අගෝස්තු 30 වැනි අඟහරුවාදා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සහභාගි වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සියලු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි මෙය සංවිධානය කර ඇත. මෙම සංවාදමය කථිකාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වූ ඉදිරි පාර්ලිමේන්තු විවාදයන්ට ක්‍රියාකාරී ලෙස සහභාගි වීම සඳහා ප්‍රයෝජනවත් වන පරිදි, රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික මඟ පිළිබඳව ඵලදායී කථිකාවක් සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් සංවිධානය කොට ඇත. රට මුහුණ දී සිටින අමාරු අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස ඉතා වගකීමෙන් කටයුතු කිරීම සහ අදහස් දැක්වීම ද මේ මොහොතේ ඉතාමත් අවශ්‍ය දෙයකි. ඒ සඳහා මෙමගින් ලැබෙන දැනුම ද වැදගත් වනු ඇත. මෙය දේශපාලනය කරන මොහොතක් නොවන බව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයින් සියලු දෙනාම තේරුම්ගෙන රට යම් මට්ටමින් ඔසවා තැබීමට සහාය වීමට ඒ සියලු දෙනාම එක්විය යුතු වේ.

අයිඑම්එෆ් සාකච්ජා

අප මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අප පැතුවේ බොහෝ ප්‍රමාද වී බව අපි දනිමු. මේ බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කළ දෙයකි. පසුගිය රජය ආර්ථික බලධාරීන් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම ගැන නොයෙකුත් වාදවිවාද පැවති බව රහසක් නොවේ. එහෙත් අප මුහුණ දී සිටි බලවත් විනිමය හිඟය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට අපහසුව තිබූ බව මේ ලියුම්කරුගේ අදහසයි. ඇත්ත වශයෙන්ම අයිඑම්එෆ් නොයා අපේ ආර්ථික ප්‍රශ්න සහ විනිමය අර්බුදයන් විසඳාගත හැකි නම් වඩාත්ම හොඳම දෙය එයයි. ඒ සඳහා අපගේ ආර්ථිකය හැඩ ගස්වා ගත යුත්තේ අප විසින්මය. එහෙත් අපගේ විදේශ ආර්ථිකයේ පැවති දුර්වලතා සහ අප විසින් විශාල වශයෙන් විදේශ ණය පියවීමට තිබූ තත්ත්වය සමග කොරෝනා වසංගතයට මුහුණ දීමට සිදුවීම නිසා මෙන්ම පසුව යුක්රේන – රුසියා යුද ගැටුම් හේතුවෙන් අපගේ විනිමය අර්බුදය වඩාත් උග්‍ර වී විදේශ සංචිත පහත වැටී අපට විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. 2022 අප්‍රේල් 12 දින විදේශ ණය ගෙවීම අත්හිටුවීමට අපට සිදු වූයේ මේ නිසාය. කෙසේ හෝ දැන් මේ සියල්ල සිදු වී අවසන්ය. දැන් අපට තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භ කළ සාකච්ජා ඉක්මනින් අවසන් කර ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට අධික එම මූල්‍ය පහසුකම ලබා ගැනීමටයි. එය කොටස් වශයෙන් ලැබෙන්නකි. ඒ සඳහා වන ක්‍රියාවලියේ රජය සහ මහ බැංකුව දැන් නිරත වී සිටී.

මේ සාකච්ජාවල තවත් පියවරක් ලෙස ඉකුත් අගෝස්තු 24 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණි නියෝජිතයන් සමග අප සාකච්ජා ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී එදිනම (24) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ.

මෙම සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් අගෝස්තු 26 වන සිකුරාදා පැවැති අතර තාක්ෂණික මට්ටමේ කරුණු සම්බන්ධව මහ බැංකු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය. ජනාධිපතිවරයා සමග පැවති මේ සාකච්ජාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානි පීටර් බෘවර්, නියෝජ්‍ය ප්‍රධානි මසහිරෝ නොසාකි සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත

ටුබැගන්ස් යන මහත්වරු සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment