උද්ධමනය 70% දක්වා ඉහළට! බැංකු ණය සහ ලීසිං අය කිරීමේදී සහනයක්

327

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ණය සහ ලීසිං මුදල් නැවත අය කර ගැනීමේදී සහනයක් සැලසීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (07 දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

මේ සහන ලබා ගැනීම සඳහා මේ මස අවසන් වීමට ප්‍රථම අදාළ බැංකු හා මූල්‍යායතනවලට ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු වේ.

ඉල්ලීම් සිදු කරන ණය ගැනුම්කරුවන් ගැන වෙන වෙනම සලකා බලා සහන සැලසීමට අදාළ බැංකු තීරණය කරනු ඇති බව ද එහෙත් මේ අවස්ථාවේදී සියලු දෙනාටම වෙනසක් නොමැතිව මේ සහනය සැලසීම දුෂ්කර බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මේ සහන සැලසීම බැංකු ණයවලට මෙන්ම ලීසිං පහසුකම් සඳහා ද අදාළ වන බවත් මේ සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ බැංකුවලට දැනුම් දීමට පියවර ගෙන ඇති බවත් මේ ගැන කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඉවම් ප්‍රනාන්දු මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.

මේ අතර දැනට පවතින සියයට 50 ක උද්ධමනය ඉදිරි මාස කිහිපය තුළ සියයට 70 ක් පමණ දක්වා ඉහළ යෑමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කීවේය.

ඉදිරියේදී වීමට තිබෙන මිල වෙනස්වීම් මෙයට හේතුවනු ඇතැයි ද මේ තුළින් වඩාත්ම පීඩාවට පත්වනු ඇත්තේ අඩු ආදායම් ලබන දුප්පත් පිරිස බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මේ අනුව මෑත කාලීනව උද්ධමනය අපේකෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ යෑම සහ ඉදිරි කාලයේදී අඛණ්ඩව ඉහළ උද්ධමනයක් පැවතීම පිළිබඳ අවධානය යොමු කරමින් අහිතකර උද්ධමන අපේක්ෂා ගොඩනැඟීම පාලනය කිරීම සඳහා තවදුරටත් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පෙරේදා (06 දා) පැවැති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාතික පදනම් අංක සියයකින් (සියයට 1 කින් ඉහළ නැංවීමට මහ බැංකුව තීරණය කර ඇත.

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13.5 සිට 14.5 දක්වා සහ මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14.5 සිට සියයට 15.5 දක්වා ද ඉහළ නැංවීමට මේ අනුව මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

මේ තීරණය ගැනීමේදී මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් සහ මුල්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය යනාදිය කෙරෙහි දැඩි මුදල් තත්ත්වයක් මගින් වන බලපෑම සහ නුදුරු කාලීනව ආර්ථිකයේ සියලුම අංශ කෙරෙහි මිල පීඩන ඉහළ යෑම හේතුවෙන් සිදුවිය හැකි අහිතකර බලපෑම් ද සලකා බැලූ බව මහ බැංකුව පවසයි.

තෙල් සංස්ථාවට තෙල් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට ප්‍රමාණවත් පරිදි රුපියල් නැති බවත් එය ඊළඟ බරපතළ ප්‍රශ්නය බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී කීවේය.

මේ නිසා තෙල් සංස්ථාව මේ වනවිට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217 ක් ඉල්ලා ඇති බව ද මහා භාණ්ඩාගාරය ඒ මුදල් මහ බැංකුවෙන් ඉල්ලන බව ද සඳහන් කළ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මෙතෙක් කල් කළ යුතුව තිබූ මිල වෙනස්කම් නොකිරීමේ බරපතළ තත්ත්වය දැන් අප අත්විඳිමින් සිටින බව ද කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment