උදාවන වසර – ඔබට – රටට

2395

උදාවන වසරේ අප රට සම්බන්ධයෙන් බලන කල ශ්‍රී ලංකාව හිමි කුම්භ ලග්න කේන්ද්‍රයේ රවි බුධ එකොලහේද ශනි ශුක්‍ර දොලහේ හා ගුරු දෙවැන්නේද, සඳු, රාහු තුන්වැන්නේද කුජ හතරේද ගමන් කරමින් උදාවන වසර මුලදීම ශනි මාරුවක් සිදුවීම තරමක යහපත් ප්‍රතිඵල පෙන්වයි.

මහජනතාවට විශාල පරිවර්තනයක් අපේක්‍ෂා කළ නොහැකි වේ. නමුත් රාජ්‍ය වියදම් පාලනය කර ගැනීමට පෙරට වඩා හැකියාව ලැබේ. විදේශ රටවලින් අපේක්‍ෂිත ආධාර උපකාර ලබාගැනීමට පහසුකම් සැලසේ. පාලන කටයුතු වල යෙදෙන අයට සතුටුදායක වන අතර පාලක පක්‍ෂයේ රජයේ සිටින බලවත් කිහිපදෙනෙක් විරුද්ධ පක්‍ෂයට එකතුවීමටද ඉඩ තිබේ. මහජන විරෝධය හා උද්ඝෝෂණ තැනින් තැන ඇතිවේ. අප්‍රේල් මාසයේ මැද සිට මේ තත්ත්වය වෙනස් වේ. උදාවන වසර මැදදී සූර්ය ග්‍රහණ දෙකක් සහ චන්ද්‍රග්‍රහණ දෙකක් සිදුවේ. ග්‍රහ බලය යම් තරමක තිබුණද ශනි ලග්නගතව ගමන් කිරීම නිසා ජනතාවට විශාල සහනදායක තත්ත්වයක් අපේක්‍ෂා කළ හැකි නොවේ. නමුත් යම් තරමක සේවාවන්ද බලාපොරොත්තු විය හැකිවේ. අධ්‍යාපන අංශවල කැලඹීම් පවතින අතර උසස් අධ්‍යාපන අංශවල ගැටලු අවම කිරීමට පියවර ගනී, ආගමික ප්‍රබෝධයක් ඇතිවේ. අගමික අංශය, අධිකරණ ගමනාගමන අංශවල දියුණුවට කරුණු යෙදේ. නිසිකලට වැසි නොවසී.

ගොවිතැන් සාර්ථක කරගැනීමට බාධා ඇතිවේ. විශාල පිරිසක් විදේශ ගතවෙයි. ජනතාව අතර රෝග බියක් ඇතිවීමටද කරුණු යෙදේ.

පාලක පක්‍ෂයද ජනතාවද ආගමානුකූල ජීවිතයක් ගතකිරීමෙන් පමණක් සමෘද්ධිය උදාවන බව ධර්මයේ කියා තිබේ. මේ බව සියලු දෙනාම වටහාගැනීම කාලෝචිතය. උදාවන නව වසර උපන් ලග්න අනුව දෙන දෙන සුබාසුබ පහත පරිදි වන්නේය.

මේෂ

ඔබේ ලග්නාධිපති කුජ දෙවැන්නේද රවි, බුධ නමයේද ශනි, ශුක්‍ර දහයේද ගුරු දොළහේ සහ රාහු සඳු සමඟ ලග්නයේද ගමන් කරමින් මෙම නව වසර උදාවෙයි. ශුභාශුභ මිශ්‍රපල ගෙනදෙන වසරක් ලෙස මේ අවුරුද්ද හැඳින්විය හැකිය.

දරුවන්ගේ දියුණුවට කරන කටයුතු වසරේ මුල් මාස තුන ඇතුළත ආරම්භ කිරීම මැනවි. එමෙන්ම ගෙදර දියුණුවට කරන බොහෝ කටයුතු වලටද මුල් මාස තුන සුබවේ. බොහෝ විට දියුණුවට කරන කටයුතු වෙනුවෙන් නිවසින් බැහැරව යෑමට හෝ විදේශගත වීමට සිදුවිය හැකියි. අප්‍රේල් 22 පසුව යටපත්ව පැවැති වාසනාව ඉස්මතු වන බව පෙනේ. අවිවාහක අයට අප්‍රේල් සහ දෙසැම්බර් මාස වල මංගල යෝග උදාවේ.

ආර්ථික තත්ත්වය සතුටුදායක නමුදු වියදම් ඉහළ යන බව පෙනේ. තැන්පත් ධනය පවා වැයවීමට කරුණු යෙදිය හැකියි. මේ තත්ත්වය අප්‍රේල් අග සිට තරමක් සුබ අතට හැරෙනවා ඇත. මුදල් ණයට දීමේදී හා ආයෝජනයේදී සැලකිලිමත් වෙන්න.

ශනි දශා ගතකරන අයට සේවක ගැටළු ඇතිවිය හැකියි. නමුත් උසස් අයගේ උදව් උපකාර ලැබේ. මුල් මාස තුන රැකියා දියුණුවට කරුණු යෙදේ. විදේශ රැකියා බලාපොරොත්තු සාර්ථක කරගත හැකිවේ.

අධ්‍යාපන කටයුතුවලට වසරේ මුල් මාස හතරේ තරමක බාධා ඇතිවිය හැකිය. ඉන්පසුව බොහෝ දුරට තත්ත්වය සුබ අතට හැරේ. රාහු දශා ගත කරන අයට අවධානය අඩුවීම හිතේ චංචලබව වැනි බාධා තිබෙන නිසා අදාළ ග්‍රහ ශාන්තිකර්ම කරගත යුතුය. රුධිරගත සීනි කොලෙස්ටරෝල් වැනි රෝගවලින් ප්‍රවේශම් වීම හා නිසි වෛi උපදෙස් පිළිපැදීම අවශ්‍ය වේ. සීනි මේදය අධික ආහාර පාලනය කරගන්න.

සුබ දින බ්‍රහස්පතින්දා, සඳුදා,
සුබ පාට කහ, සුදු,
සුබ අංක 2,5

වෘෂභ

ලග්නාධිපති සිකුරු සමඟ ශනි භාගස්ථානයේද රවි බුද අටේද, සඳු රාහු දොළහේද කුජ ලග්නයේද ගමන් කරමින් මෙම වසර උදාවන්නේය. වසර මුල මාසයක පමණ කාලය ගෘහ ජීවිතය පිළිබඳව තරමක් බාධා ඇතිවන බව පෙන්වයි. විශේෂයෙන්ම දේපළ පිළිබඳව නීතිමය ගැටලු සඳහා මැදිහත්වීම සුදුසු නොවේ.

නමුත් ඉන් පසුව තත්ත්වය බොහෝදුරට යහපත් වේ. ආගම දහමට හිත යොමුවේ. සමාජ සේවා පිංකම් වැනි දේට සම්බන්ධවීමට කරුණු යෙදේ. යහපත් මිතුරු මිතුරියන් සමඟ කාලය ගතකරන්නට ඉඩ ලැබේ. ආදායම් තත්ත්වයද මිශ්‍රඵල දායකයි. එහෙත් ඉක්මන් කෝපය හා කලබලවීම නිසා ඇසුරු කරන්නන් අමනාපවීමට ඉඩ තිබේ. ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්ය.

රැකියා හා ව්‍යාපාර මිශ්‍රඵලදායකයි. ශනි දශා ගතකරන අයට සේවක පාලනයේදී ගැටලු මතුවීමට ඉඩ තිබේ. ආදායම් මාර්ග වලටද වසර මුලදී බාධා පවතී. නමුත් විදේශ රැකියා බලාපොරොත්තු සාර්ථක කරගත හැකියි.

මැයි මාසයේ සිට ආදායම් මාර්ගවලට අවහිරතා ඇතිවීමට ඉඩ ඇති අතර මුදල් ආයෝජනයේදී සැලකිලිමත් විය යුතු වේ. අධ්‍යාපන කටයුතුවලටද වසර මුලදී පවතින බාධා පසුව ඉවත් වේ. අලස බව, නිදිමත හා වැඩකල්දැමීම නිසා ඉගෙනීමට බාධා ඇතිවිය හැකියි. උනන්දුවීම වැදගත්ය.

ඌෂ්ණාධික රෝග, රුධිර ධාවනය පිළිබඳ ගැටලු හා අම්ලපිත්ත රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇති නිසා ප්‍රවේශම් වෙන්න. නිසි ලෙස වෛද්‍ය ප්‍රතිකාර ගැනීම හා ආහාර පාලනයද වැදගත් බව සලකන්න. සූර්ය පිරිත භාවිතා කරන්න.

සුබ දින සිකුරාදා, සඳුදා,
සුබ පාට සුදු, මිශ්‍රලා පාට,
සුබ අංක 2, 6

මිථුන

ලග්නාධිපති බුධ සමඟ රවි හතේද, සඳු රාහු එකොළහේද ගුරු දහයේද ශනි, සිකුරු අටේද ගමන් කරමින් මෙම වසර උදාවෙයි. වසර තුනක් පමණ පැවැති සෙනසුරා ඒරාෂ්ඨක අපලය නිමවීම සතුටුවිය හැකිවේ. විශේෂයෙන් ශනි දශා ගතකළ අයට පැවැති අසනීපවලින් සුවය ලැබේ. ගැටලුවලට විසඳුම් ලැබේ. ගෘහ ජීවිතය පිළිබඳ තත්ත්වයද ක්‍රමයෙන් යහපත් අතට හැරෙනවා ඇත. අප්‍රේල් සිට ගෘහ ජීවිතය සතුටුදායක වේ. අඹු – සැමි සමගිය ඇතිවේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ.

රැකියා අංශ වල හා ව්‍යාපාර අංශවලද පැවැති තත්ත්වය අප්‍රේල් සිට සුබ අතට හැරෙනවා ඇත. සේවක ගැටලුවලට විසඳුම් ලැබේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. රැකියා නැති අයට රැකියා ලාභ ලැබෙන කාලයකි. වැඩිමහල් සහෝදරයකුගේ රැකියා දියුණුවට කරුණු යෙදේ. යහපත් මිතුරු පිරිසකගේ ඇසුර ලැබීමටත් අලුත් මිතුරන් හඳුනා ගැනීමටත් හැකිවේ. විදේශ රැකියා බලාපොරොත්තු ඉටුකර ගත හැකිවේ.

අධ්‍යාපනය පිළිබඳ සලකන විට පෙර පැවැති උදාසීන හා අලස බව ඉවත්වී උනන්දුව ඇතිවන නිසා ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගත හැකිවේ. විභාග වලින් සාමර්ථ විය හැකිවේ. කුජ දශා ගතකරන අයට වසරේ මුල් කාලය තරමක් අපල බැවින් අනතුරුවලින් ප්‍රවේශම් වීමට හා ඉවසීමෙන් කටයුතු කිරීමටද වගබලා ගැනීම වැදගත්ය. කුජට අදාළ ශාන්තිකර්ම කර ගැනීම මැනවි.

සෙම් රෝග, වාතාබාධ හා ක්‍ෂණික කෝපය වැනි මානසික තත්ත්වයන් පාලනය කරගැනීම වැදගත්ය. ශනි කුජ දශා විශේෂයි. කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කිරීම මැනවි.

සුබ දින බදාදා, බ්‍රහස්පතින්දා,
සුබ පාට ලාකොල, කහ,
සුබ අංක 4, 5

කටක

ලග්නපති සඳු සමඟ රාහු දහවැන්නේද ගුරු නමයේද රවි බුද හයේ සහ ශනි සිකුරු හතේද ගමන් කරමින් උදාවන වසර ආරම්භය සුබයි. උසස් අයගේ උදව් උපකාර ලැබේ. නීතියේ පිහිට ලැබේ. උත්සාහය, උනන්දුව ධෛර්යය ඉහළ යයි. ආගම දහමට හිත යොමුවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වනවා ඇත. ගෘහ ජීවිතය පිළිබඳවද බොහෝදුරට යහපත් තත්ත්වයක් පවතී.

නමුත් ජනවාරි 17 වැනිදා සිදුවන ශනි මාරුව නිසා අෂ්ටම ඒරාෂ්ඨක අපල තත්ත්වයක් උදාවීම සැලකිය යුත්තකි. මේ නිසා ශරීර සෞඛ්‍යයට බාධා පැමිණීමට ඉඩ තිබේ. වාතාබාධ, සෙම්රෝග වැනි අසනීප ඇති අය නිසිලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට උනන්දු විය යුතුවේ. එමෙන්ම උපතේදී සඳු ලග්නයේ හෝ අටවැන්නේ සිටි අයටද ශනි දශා ගතකරන අයටද තදබල කරදර බාධා ඇතිවිය හැකි නිසා ශනි ග්‍රහයාට හිමි ග්‍රහ ශාන්ති කරගැනීම අවශ්‍ය වේ. වෙනත් දශා ගතකරන අයට තද අපල නොවේ.

අප්‍රේල් මැයි මාසවලදී තරමක යහපත් තත්ත්වයක් ඇතිවේ. අප්‍රේල් අගදී සිදුවන ගුරු මාරුවට පෙර විශේෂ සුබ කටයුතු ආරම්භ කිරීමට සැලකිලිමත් වෙන්න. ඉන් පසුව රැකියා ව්‍යාපාර වැනි අංශ වල දැඩි අවිවේකී බවක් ඇතිවීමට ඉඩ තිබේ. විදේශ ගමන් හෝ විදේශ අධ්‍යාපනය පිළිබඳ අපේක්‍ෂා ඉටුකර ගැනීමට හැකිවේ. වසර අග විශේෂයි.

ශරීර සෞඛ්‍ය ගැන සලකන විට සෙම් රෝග, මෙන්ම ගුරු දශා ගතකරන අයට රුධිරගත සීනි, කොලෙස්ටරෝල් වැනි අසනීප වලින් ප්‍රවේශම් විය යුතු බව සලකන්න. දිනපතා ආගමික වතාවන් කර අසරණ අයට පිහිටවීම, මෛත්‍රි භාවනාව අපල දුරුකරනවා ඇත.

සුබ දින සඳුදා, බ්‍රහස්පතින්දා,
සුබ පාට සුදු, කහ
සුබ අංක 2, 5

සිංහ

ඔබේ ලග්නාධිපති රවි සමඟ බුධ පහේද ශනි ශුක්‍ර හයේද ගුරු අටේද සඳු සමඟ රාහු නමයේද කුජ දහයේද ගමන් කරමින් උදාවන වසර මිශ්‍රඵලදායකයි. භාග්‍යස්ථානාධිපති කුජ දහයේ දිග් බලව ගමන් කරන බැවින් අභියෝග ජයගැනීමට තරම් ශක්තිය හා ධෛර්යය පවතී. නමුත් ගෙදර දියුණුවට කරන කටයුතු වලට නිතර නිවසින් බැහැරව යෑමට සිදුවේ. අප්‍රේල් අග දක්වා අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර කරගැනීමට බාධා පවතී. අන් අයගේ දරුවන් වෙනුවෙන් අමතර වෙහෙසක් දැරීමට සිදුවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වැයවන වියදම් ඉහළ යයි.

නමුත් අප්‍රේල් අගසිට මේ තත්ත්වය සුබ අතට හැරේ. හිතේ කයේ සැනසීම ඇතිවේ. අධික කාර්යබහුල බව ක්‍රමයෙන් අඩුවේ. අසනීප තිබුණේ නම් සුව අතට හැරේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට තිබූ බාධාද ඉවත් වනවා ඇත. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. විදේශ අධ්‍යාපනයන් ලැබීමට තිබූ බලාපොරොත්තු ඉටුවේ.

අප්‍රේල් සිට උදාවන මාස තුනක පමණ කාලයේ රැකියා බලාපොරොත්තු ඉටුවේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. සමාජයේ තිබූ ගෞරවය හා පිළිගැනීම ඉහළ යයි. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීම්වලට ද ඉඩ තිබේ.

ශරීර සෞඛ්‍ය ගැන බලනවිට වසර මුලදී ගුරු අටවැන්නේ ගමන් කරන බැවින් රුධිරගත සීනි හා මේදය නිසා ඇතිවන දියවැඩියාව, රුධිර පීඩනය, හෘද රෝග වැනි අසනීපවලින් ප්‍රවේශම් විය යුතුවේ. ගුරු දශා ගතකරන අයට විශේෂයි. ඖෂධ පූජාව, සිල්වතුන්ට ඖෂධ පරිත්‍යාග කිරීම, බෝධි පූජාව අටපිරිකර පූජාව අපල දුරුවීමට හේතුවේ. බුදුගුණ යන්ත්‍රයක් පැළඳීමද සුබපල දීමට හේතුයි.

සුබ දින ඉරිදා, අඟහරුවාදා
සුබපාට රෝස, රතු,
සුබ අංක 1, 3

කන්‍යා

ලග්නාධිපති බුධ සමඟ රවි හතරේද, ශනි සිකුරු පහේද ගුරු හතේ හා සඳු රාහු අටේද ගමන් කරමින් නව වසර උදාවන්නේය. ගෘහ ජීවිතය පිළිබඳව මිශ්‍රපලදායක තත්ත්වයක් පෙන්වයි. ගෙදර හා පවුලේ දියුණුවට කරන කටයුතු වසර මුලදීම එනම් අප්‍රේල් වලට පෙර ආරම්භ කිරීම සුදුසුයි. ජනවාරි අග සිට දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. ගෘහාශ්‍රිත ව්‍යාපාර දියුණු වේ.

අවිවාහක කන්‍යා ලග්න හිමි තරුණ තරුණියන්ගේද මංගල යෝජනා ස්ථිර කිරීම හෝ විවාහය මුල් මාස තුනේදී කිරීම උචිතය. අන් අයගේ යුගදිවිය සතුටුදායක වේ. නමුත් අප්‍රේල් අග සිට විවහා සහකරුට බාධා කරදර හෝ අඹු – සැමි අමනාපකම් වැනි බාධා ඇතිවීමට ඉඩ තිබේ.

ජනවාරි අග සිට අධ්‍යාපන කටයුතුවලට ඇති උනන්දුව වැඩිවේ. මෙතෙක් පැවැති බාධා ඉවත්කරගත හැකිවේ. අප්‍රේල් අග සිට උසස් අධ්‍යාපන කටයුතු ද සාර්ථක වේ. නමුත් අප්‍රේල් 22 සිදුවන ගුරු මාරුව නිසා ඔබට වඩාත් කාර්යබහුල වන බවක් පෙන්වයි. මේ නිසා වසර අග කොටස කලට වේලාවට ආහාර පාන ගැනීම හා නින්ද ලබාගැනීමටද සැලකිලිමත් විය යුතුවේ. නිවාස ඉදිකිරීම්, දේපල මිලදී ගැනීම් ආදියට වඩාත් සුදුසු වන්නේ මුල් මාස තුන වේ.

රැකියා හා ව්‍යාපාර ගැන සලකන විට ජුනි 15 සිට උදාවන කාලයද, පෙබරවාරි 15 සිට උදාවන මාසයද සුබදායකයි. ගෘහාශ්‍රිත ව්‍යාපාර හා කෘෂිකර්මාන්ත ආදියද මුල් කාලයේ ආරම්භ කිරීම මැනවි.

ශරීර සෞඛ්‍ය ගැන සලකන විට උදරාබාධ ආශ්‍රිත හිසේ රෝග, ගැස්ට්‍රයිටීස්, රුධිරගත සීනි කොලෙස්ටරෝල් වැනි රෝග වලින් ප්‍රවේශම් වීමට සැලකිලිමත් වෙන්න. තෙම්පරාදු ආහාර මෙන්ම පැණිරසද සීමා කරන්න. රාහු – ගුරු දශා විශේෂයි. සුදුසු යන්ත්‍ර හා මැණික් භාවිතය මගින් අපල දුරුකර ගත හැකිවන්නේය.

සුබ දින බදාදා, සඳුදා, සිකුරාදා
සුබ පාට සුදු, ලාකොල, මිශ්‍රලාපාට,
සුබ අංක 2, 4, 6

තුලා

සිකුරු සමඟ ශනි හතරේද රවි බුධ තුනේද, ගුරු හයේ සහ සඳු හතේද කුජ අටේද ගමන් කරමින් නව වසර උදාවන්නේය. ගෘහ ජීවිතය වසර මුලදී මිශ්‍රඵලදායක තත්ත්වයක් පෙන්වයි. කුජ අටවැන්නේ ගමන් කරන බැවින් මුල් මාස තුනක පමණ කාලය යුගදිවියට බාධා හෝ විවාහ සහකරුට අපල ඇති බව පෙන්වයි. අවිවාහක තුලා ලග්න හිමි තරුණ තරුණියන්ගේ විවාහ කටයුතු වලටද මුල් මාස තුන බාධා ඇති කරයි. අප්‍රේල් දක්වා දැඩි අවිවේකී තත්ත්වයන්ද බලාපන බව පෙනේ.

අප්‍රේල් අග සිට ගෘහ ජීවිතය පිළිබඳව සතුටුදායක බවක් පෙන්වයි. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. තමන් කරන සියලු කටයුතු වලට අන් අයගේ උදව් ලැබේ. නීතියේ පිහිට ලැබේ. මංගල යෝග උදාවේ. නැතහොත් බිරිඳ හෝ සැමියාට සුබයි. අඹු – සැමි සමගිය ඇතිවේ. අමනාපකම් දුරුවේ. පවුලේ අයගේ විවාහ මංගල කටයුතුද සිදුවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. අසනීපවලින් සුවය ලැබේ.

අප්‍රේල්, ජුලි, අගෝස්තු මාස වලට රැකියා දියුණුවට කරුණු යෙදේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීම් වලටද ඉඩ තිබේ. සමාජ තත්ත්වය, ගෞරවය ඉහළ යයි. ශනි පස්වැන්නේ ගමන් කරන බැවින් අධ්‍යාපන කටයුතු වලදී අලස නොවී උනන්දුවීම අවශ්‍ය වේ. අවිවාහක තුලා ලග්න හිමියන්ට උදාවන වසර මංගල යෝග යෙදෙන නිසා සුබ නැකත් උදාවේ. ශරීර සෞඛ්‍ය ගැන මුල් මාස තුනේ විශේෂයෙන්ම සැලකිලිමත් වීම මැනවි. ඌෂ්ණාධික රෝග, තුවාල, අනතුරු හා ක්‍ෂණික කෝපය වැනි මානසික පීඩා ඇතිවීමට ඉඩ තිබේ. කුජ දශා විශේෂයි. කේතු දශා ගතකරන අයට ශරීරයේ යකඩ විටමින් ඌණතා නිසා ඇතිවන පෝෂණ ගැටලු වළක්වාගත යුතුවේ. කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කරන්න. මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම හා ලේ දන්දීමද සුදුසු යන්ත්‍රයක් පැළඳීමද අපල දුරුවීමට හේතුයි.

සුබ දින සඳුදා, සිකුරාදා, බදාදා,
සුබ පාට සුදු, කොල, මිශ්‍රලා පාට,
සුබ අංකය 2, 4, 5

වෘශ්චික

කුජ වක්‍රව හතේද, රවි බුධ දෙවැන්නේද ශනි ශුක්‍ර තුනේද, ගුරු පහේ සහ සඳු සමඟ රාහු හයවැන්නේ ගමන් කරමින් උදාවන මෙම වසර මිශ්‍රපලදායකයි. විශේෂයෙන් ලග්නපති හත්වැන්නේ ගමන් කරන මුල් මාස දෙකක පමණ කාලය අඹු – සැමි අමනාපකම්, ඉක්මන් කෝපය හා කලබලවීම නිසා ඇතිවන ගැටලු වලට ඉඩ තිබේ. මේ නිසා ඉවසීමෙන්ම කටයුතු කිරීම මැනවි.

ඔබේ විශේෂ සුබ කටයුතු අප්‍රේල් මාසයට පෙර ආරම්භ කිරීම සුබදායක වේ. ආයෝජන වලින් ලාභ ලැබේ. මංගල යෝජනා ස්ථිර වේ. වෘශ්චික හිමි මව්පියන්ට දරුවන් පිළිබඳව සිතා සතුටුවිය හැකිවේ. ව්‍යාපාරවලට සුබයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාග වලින් සමර්ථ වේ. සතුරන් හා තරගකරුවන්ගෙන් ජය ලැබීමට හැකිවේ. එහෙත් මාර්තු අප්‍රේල් මාස වලද ලග්නපති දුර්වලව ගමන් කරන බැවින් වැදගත් තීන්දු තීරණ ගැනීමේදී විශේෂඥ උපදෙස් ගැනීම සුදුසුය. අප්‍රේල් අග හා මැයි මුල අතර රැකී රක්‍ෂා හෝ ව්‍යාපාර අංශ වලින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකියි.

උසස් අයගේ උදව් ලැබේ. නීතියේ පිහිට ලැබේ. උත්සාහය ධෛර්ය වැඩිවේ. රවි දශා විශේෂයි. ගෘහ ජීවිතයේ දියුණුවට කරන දේ, නිවාස ඉදිකිරීම් හෝ විවාහ මංගල උත්සව ආදියට වඩාත් සුබ වන්නේ අප්‍රේල් දක්වා ගතවන කාලයයි. අගෝස්තු සැප්තැම්බර් මාස දෙකද රැකියා ව්‍යාපාර අංශවල සුබපල ලැබේ. නායකත්ව ගතිගුණ ඉස්මතු වේ. සමාජ තත්ත්වය උසස් වේ.

ශරීර සනීපය ගැන බලනවිට කේතුගේ දශා අන්තර්දශා ගතකරන අයට තරමක අපල පවතී. යකඩ විටමින් ඌණතාවය නිසා ඇතිවන පෝෂණ ගැටලු, හිතේ සැකය හා බිය වැනි තත්ත්වයන්ට ඉඩ තිබේ. ගුරු දශා ගත කරන අය දියවැඩියාව, හෘදයාබාධ ගැන සැලකිලිමත් වෙන්න. බුදුගුණ යන්ත්‍ර, සුදුසු මැණික් වර්ග පැළඳීම මැනවි.

සුබදින සඳුදා, බ්‍රහස්පතින්දා, ඉරිදා, සුබ පාට සුදු, කහ, සුබ අංක 1, 2, 5

ධනු

ගුරු හතරේද, රවි බුධ ලග්නයේද, ශනි සමඟ සිකුරු දෙකේද, සඳු රාහු පහේද කුජ හයේද ගමන් කරමින් මෙම වසර උදාවෙයි. වසර ආරම්භය තරමක බාධා පැවතියද පසුව ඒ තත්ත්වය සුබ අතට හැරෙන බව පෙනේ.

විශේෂයෙන් වසරේ මුල් මාස හතරක පමණ කාලය ගෘහ ජීවිතය පිළිබඳව අසහනකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. කෘෂිකාර්මික කටයුතු වලින් බලාපොරොත්තු වන ලාභ නොලැබීමට ඉඩ තිබේ. අවිවේකය දැඩි ලෙස බලපායි. වටිනා දේ නැතිවීමටද ඉඩ ඇත. හෘදයාබාධ වලින් ප්‍රවේශම් විය යුතුවේ. නමුත් සතුරන් හා තරගකරුවන් අභිබවා ක්‍රියාකිරීමට හැකිවේ. උනන්දුව වැඩිවේ. මේ අතර ඉඩම් හෝ ගෙවල් දියුණු කරගැනීමට කරනු ලබන දෙයින් තරමක සාර්ථකත්වයක් ලැබේ. අධ්‍යාපන කටයුතු වලට බාධා වන අයුරින් හිතේ චංචල බව, උදරාබාධ ආශ්‍රිත රෝග වැනි ගැටලු ඇතිවීමට ඉඩ තිබේ.

අප්‍රේල් අග සිට මේ තත්ත්වය සුබ අතට හැරෙනවා ඇත. ගෘහ ජීවිතයේ දියුණුවට තිබූ බාධා කරදර ඉවත් වේ. මුදල් ආයෝජකයෝ ලාභ ලැබේ. හදිසි ධන ලාභ ලැබීමටද ඉඩ තිබේ. අලුත් ව්‍යාපාර ආරම්භයටද සුබයි. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදාවේ. පෙම්වතුන්ට සුබදායකයි. උත්සාහයේ තරමටම ප්‍රතිඵල ලැබේ. සමාජ තත්ත්වය යහපත් වේ. කීර්ති, ගෞරව ප්‍රශංසා ලැබෙන කාලයක් වේ. අධ්‍යාපන කටයුතුද සාර්ථක කරගැනීමට හැකිවේ. දරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ දියුණුව දැක සතුටුවිය හැකි කාලයයි. දරු ලාභ ගැන බලාපොරොත්තුවෙන් සිටින අයට දරුලාභ ලැබේ. සතුටින් කාලය ගතවේ.

ශරීර සෞඛ්‍ය ගැන බලන විට රුධිරගත සීනි, හා මේදය ආශ්‍රිත රෝග, හෘදයාබාධ, ගැස්ට්‍රයිටීස් වැනි රෝග වළක්වා ගැනීමට හා නිසිලෙස ප්‍රතිකාර ගැනීමට සැලකිලිමත් වෙන්න. අටපිරිකර ඖෂධ ආදී පූජා තබා ප්‍රදේශාධිපති දෙවියන් පිහිට පැතීම හා සුදුසු යන්ත්‍ර භාවිතය මැනවි.

සුබ දින බ්‍රහස්පතින්දා, ඉරිදා, බදාදා සුබ පාට කහ, කොල, සුබ අංක 1, 4, 5

මකර

ඔබේ ලග්නාධිපති ශනි සමඟ සිකුරු ලග්නයේද රවි බුධ දොළහේද, සඳු සමඟ රාහු හතරේද ගුරු තුනේද කුජ පහේද ගමන් කරමින් උදාවන වසරේ ජනවාරි 17 දා සෙනසුරු මාරුව තරමක් සුබපල උදාකරන බව පෙනේ. දෙවැන්නට මාරුවන ශනි, ඒරාෂ්ටක තත්ත්වය පෙන්නුවද ශනි බලවත් බැවින් තදබල අපල ඇතිනොවේ. යම් තරමක සහනදායක තත්ත්වයක් අපේක්‍ෂා කළ හැක.

කෙසේ නමුත් වියදම් පාලනය කර ගැනීමට බොහෝ උත්සාහගත යුතුවේ. පවුලේ වියදම් ඉහළ යයි. තැන්පත් ධනය පවා වැය විය හැකියි. වසරේ මුල් කාලය උසස් අය සමඟ කටයුතු කරන විට ප්‍රවේශම්වීම අවශ්‍ය වේ. තදබල ලෙස අවිවේකී ගතියක් පෙන්වයි. උදාවන වසරේ මාසයෙන් මාසය මේ අපල අඩුවන ආකාරයේ ග්‍රහ රටාවන්ද පෙන්වයි. විශේෂයෙන් අප්‍රේල් 22 සිදුවන ගුරු මාරුවෙන් පසුව ස්ථාන ඉඩකඩම් ආදියේ දියුණුවට කරන වැඩ නිවාස ඉදිකිරීම් වැනි දේ ආරම්භ කළ හැකිවේ. කෘෂිකාර්මික කටයුතු ගොවිතැන් ආදියේ ලාභ ප්‍රයෝජන ලැබේ. වගා කටයුතු සාර්ථක කරගත හැකිවේ.

අධ්‍යාපන කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මධ්‍යස්ථ ප්‍රතිඵල ඇති කරයි. නමුත් ශනි දශා ගතකරන අයට අලස බව නිදිමත, වැඩකල්දැමීම වැනි සිතිවිලි නිසා බාධා ඇතිවීමට ඉඩ තිබේ. මේ නිසා උනන්දුව හා උත්සාහය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

වසර ආරම්භයේ රාහු, කේතු ශනි යන ග්‍රහයන් මෙන්ම රවිද දුර්වල බැවින් ආගමික ජීවිතයක් ගතකරමින්, උනන්දුව උත්සාහය පවත්වා ගනිමින් හා කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඇතිව කටයුතු කළ යුතුවේ. ඌෂ්ණාධික රෝග, සෙම් රෝග, පෝෂණ ඌණතා නිසා ඇතිවන රෝග ඇති අය නිසිලෙස වෛi ප්‍රතිකාර ගැනීමට සැලකිලිමත්වීම වැදගත්ය.

සුබ දින බදාදා, සඳුදා, සෙනසුරාදා සුබ පාට ලකොල, නිල්, සුදු ක්‍රීම් සුබ අංක 2, 4, 7

කුම්භ

සෙනසුරු සමඟ සිකුරු ලග්නයෙන් දොළහේද ගුරු දෙවැන්නේද, සඳු රාහු තුන්වැන්නේද, කුජ හතරේ හා රවි බුධ එකොළහේද ගමන් කරමින් උදාවන නව වසර මුලදීම සෙනසුරු ලග්නය මාරුවීම නිසා කරදර බාධා තරමක් දුරට අඩුවන බව පෙනේ.

උසස් අයගේ උදව් ලැබේ. නීතියේ පිහිට ලැබේ. උසස් අය හඳුනාගැනීමට අවස්ථා උදාවේ. විවාහ සහකරුගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද පසුකාලයේ සිටි තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් ඇතිවේ. උනන්දුව ඉහළ යයි. මේ අතර නොසන්සුන් බව, ක්‍ෂණික කෝපය, කලබලවීම් වැනි දේ නිසා පවුලේ අය අමනාපවීමට ද ඉඩ තිබේ. ඉවසීමෙන් කටයුතු කරන්න. ගෘහ ජීවිතයේ දියුණුවට කරන දේ අප්‍රේල්වලට පෙර ආරම්භ කරන්නේ නම් මැනවි.

මුල් මාස හතර ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගත හැකිවේ. නෑදෑ හා මිත්‍ර සබඳතා ශක්තිමත් කෙරේ. වියදම් ඉහළ ගියද, ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගැනීමට හැකිවේ. ආගම දහමට හිත ඇදී යයි. වන්දනා ගමන් යෙදේ. ධනලාභ හා දියුණුව ලැබේ.

මැයි මාසයේ සිට තරමක් අවිවේකී, කාර්ය බහුල තත්ත්වයක් ඇතිවේ. වියදම් ඉහළ යනවා ඇත. ශරීර සෞඛ්‍ය රැකගැනීමට සැලකිලිමත් විය යුතුවේ. හිතවත් ඥාතිවරයකුගේ අභාවයක් සිදුවේ. කලට වේලාවට ආහාර පාන නින්ද ලබාගැනීමට උනන්දු විය යුතුවේ. අධ්‍යාපන කටයුතු මිශ්‍රපලදායකයි.

ශරීර සෞඛ්‍ය ගැන බලනවිට සෙම් රෝග, දියවැඩියාව, හෘදරෝග ඇත්නම් නිසි ලෙස වෛi ප්‍රතිකාර ගැනීමට සැලකිලිමත් විය යුතුවේ. ආගමික ජීවිතයක් ගතකිරීම, රෝගීන්ට උපකාර කිරීම සුදුසු යන්ත්‍රයක් භාවිතා කිරීම මගින් අපල දුරුවේ.

සුබ දින සිකුරාදා, සෙනසුරාදා, බ්‍රහස්පතින්දා සුබ පාට කහ, මිශ්‍රලා, නිල්, සුබ අංක 5, 6, 7

මීන

ගුරු ලග්නයේද, රවි බුධ දහයේද, ශනි සිකුරු එකොළහේද සඳු, රාහු දෙවැන්නේ හා කුජ තුනේ ගමන් කරමින් උදාවන මෙම වසර ගෘහ ජීවිතය පිළිබඳව මිශ්‍රඵලදායක තත්ත්වයක් පෙන්වයි. පෙබරවාරි දක්වා රවි බලවත්ව ගමන් කරන බැවින් තරමක සුබපල උදාකරයි.

සතුරන් හා තරගකරුවන්ගෙන් ජය ලැබීමට හැකිවේ. උසස් අයගේ උදව් ලැබේ. නීතියේ පිහිට ලැබේ. සමාජයේ ඔබ පිළිබඳ ඇති ගෞරවය හා පිළිගැනීම ඉහළ යයි. මේ අතර අවිවේකී බවක්ද ඇතිකරයි. ප්‍රධාන ගැටළුවක් විය හැක්කේ වියදම් ඉහළ යෑමයි. තැන්පත් ධනය පවා වැයවීමට ඉඩ තිබේ. නමුත් උනන්දුව, උද්යෝගය පවතින නිසා බාධා ජය ගැනීමට තරම් හැකියාව ලැබේ.

අප්‍රේල් අග සිට තත්ත්වය බොහෝ දුරට සුබ අතට හැරෙන බව පෙනේ. ගුරු දශා විශේෂයි. අසනීප තිබුණේ නම් සුව අතට හැරේ. වියදම් පාලනය කරගත හැකිවේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුවක්ද දැකිය හැකිවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාගවලින් සමාර්ථ වේ. මේ කාලයේ අවිවාහක මීන ලග්න හිමි තරුණ පිරිසට මංගල යෝග උදාවේ. ඥාති සබඳතා ශක්තිමත් වේ. ධන ලාභ ලැබේ. යටපත්වී තිබුණු වාසනාව උදාවේ.

සෙනසුරු දශා ගත කරන අයට මේ තත්ත්වය තරමක් වෙනස් වීමට ඉඩ තිබේ. විශේෂයෙන් ආදායම් සතුටුදායක වුවද වියදම් ඉහළ යෑමට ඉඩ තිබේ. අප්‍රේල් අග හා මැයි මුල කාලය විශේෂ සුබපල ගෙනදෙන නිසා සුබ කටයුතු ආරම්භය මැනවි.

ශරීර සෞඛ්‍ය ගැන බලනවිට ගුරු දශා ගතකරන අය දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි ආබාධ වලින් ප්‍රවේශම් වෙන්න. මුල් මාස තුන විශේෂයි. චතුමධුර, සිවුරු පිරිකර පූජාව, පිරිත් භාවිතය හා බුදුගුණ යන්ත්‍ර පැළඳීම සුබපල ඇති කරවයි.

සුබ දින සඳුදා, බ්‍රහස්පතින්දා, අඟහරුවාදා සුබ පාට සුදුක්‍රීම්, කහ, රෝස සුබ අංක 2, 3, 5

උදාවන වසර - ඔබට - රටට

රාජ්‍ය සම්මානලාභී ජ්‍යෙතිෂවේදී
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
දුරකතන අංකය 077-1234313

advertistmentadvertistment
advertistmentadvertistment