උදාවන සතියේ ග‍්‍රහ මාරු දෙකක්

1652

සතිය උදාවන්නේ ග‍්‍රහ මාරු දෙකක් සමගිනි. එය ද බලවත් ග‍්‍රහයන් වීම සැලකිය යුතු කරුණකි. රජු හෙවත් රාජ්‍ය කාරක රවි මකර රාශිගත වීම එකකි. මකරය රවිට සතුරුවන අතර ලංකා කේන්ද්‍රයේ දෝෂ ස්ථානය නිවේදනය කරයි. කුජ ග‍්‍රහයා 16 වැනිදා ධනු රාශිගත වීම අනෙක් ග‍්‍රහ මාරුවයි. ග‍්‍රහ ලොව සෙන්පති ලෙස සලකන කුජ ග‍්‍රහයා ලංකා කේන්ද්‍රයේ දොළොස්වැන්නට මාරු වෙයි. දැනටමත් සෙනසුරු දොළහේ ගමන් කරමින් සිටී.

මේ නිසා පෙබරවාරි 16 සිට උදාවන මාසයක කාලසීමාව අභියෝගාත්මක වනු ඇත. විශේෂයෙන් රවි නිවේදනය කරන කරුණුවල පීඩාවන් ඇතිිවිය හැකිය. රවි ජ්‍යොතිෂයේදී ආලෝකය, විදුලිය, හා පාලක පක්ෂය නිවේදනය කරයි. මේ නිසා කාලය ඇතුළත විදුලි අර්බුදයක් ඇති වීමට ඉඩ තිබේ. රාජ්‍ය නායක කාරකාදීන්ට මෙන්ම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ආදියේ ඉහළ තනතුරු දරන අයට ද අභියෝගාත්මක කාලයක් බව පෙනේ. පාලත පාලිත දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති වීමට ඉඩ තිබේ. එමෙන් ම විදුලිය සැපයීම වෙනුවෙන් අමතර වියදමක් දැරීමට ද රජයට සිදුවනු ඇත. කම්කරු හා ගොවි සංවිධාන ද රජයට එරෙහිව විරෝධතා දැක්වීම තවදුරටත් බහුලවන අතර මේවාට නිසි විසඳුම් ලැබීම ද ඉක්මනින් සිදුවේ යැයි අපේක්ෂා කළ හැකි නොවේ.

වියළි හා ඌෂ්ණාධික කාලගුණයත් මෙන්ම ඌෂ්ණාධික රෝග, ඇස් දැවිල්ල, පිත් රෝග බහුලවන කාලයන් ද වේ. මේ අතර කුජගේ මාරුව සිදුවන්නේ ලංකා කේන්ද්‍රයේ එකොළොස් වැන්නටය. එකොළොස්වැන්න නිවේදනය කරන්නේ පාර්ලිමේන්තුව ය. කුජට හිමි මේෂ හා වෘශ්චික රාශි දෙක කේන්ද්‍රයේ තුන්වැන්න හා දසවැන්න නිවේදනය කරයි. මේ නිසා පාර්ලිමේන්තුව ඇතුළත විශේෂ හඬක් නැඟීමට, වාද විවාද, විරෝධතා ඇති කිරීමට පෙළඹෙනු ඇත. කුජ නිවේදනය කරන ආරක්ෂක හමුදාවල ශක්තිය තවදුරටත් ප‍්‍රකට වෙනවා ඇත.

තව ද අධ්‍යාපන අංශ ගැන කියැවෙන බුධ ග‍්‍රහයා ද දොළොස්වැන්නේ වක‍්‍රව ගමන් කිරීම සැලකිය යුතු වේ. මේ නිසා දැනට ආරම්භ කර ඇති පාසල් අධ්‍යාපනයට බාධා එල්ල විය හැකි අතර සෞඛ්‍ය නීතිරීති මනාව අනුගමනය කිරීමට පාසල් ගුරු භවතුන් හා දෙමාපියන් සැලකිලිමත් විය යුතු වේ.

ග‍්‍රහ මාරුවලින් පෙන්වන අසුබපලදායක ප‍්‍රතිඵල හඳුනාගෙන ඒවා වළක්වා ගැනීමට බලධාරීන් පියවර ගන්නේ නම් එය ඉතා කාලෝචිතය.

රවි සහ කුජ මාරුව උපන් ලග්න අනුව කරන බලපෑම පහත පරිදිය.

මේෂ

බොහෝ දුරට සුබපලදායකයි. කුජ ග‍්‍රහයා අටවැන්නේ ගමන් කරමින් බාධා කරදර සිදු වූ කාලය නිමා වෙයි. ආගම දහමට හිත යොමු වෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. රැකියා ව්‍යාපාර සුබදායකයි. රැකියා නැති අයට රැුකියා ලැබේ. නීතියේ පිහිට ලැබේ. බලාපොරොත්තු ඉටු වේ.

වෘෂභ

මිශ‍්‍රපලදායකයි. රවි මාරුව නිසා මෙතෙක් පැවැති නීතිමය අවහිරතාවලට තරමක විසඳුම් ලැබෙනවා ඇත. මේ අතර විවාහ බාධා ඇති විය හැකියි. විවාහ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර කර

ගැනීමට සුදුසු නොවන බව පෙනේ. ඖෂධ පූජාවක් කර සෙත්පතා ගන්න.

මිථුන

දැනට ශනි ඒරාෂ්ටක අපලයන් ද පවතින අතර රවි ද අටවැන්නට මාරු වූ නිසා උදාවන මාසය විශේෂ සුබ කටයුතු ආරම්භයට සුබ නොවේ. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලමත් වෙන්න. ඌෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. ආගමික ජීවිතයක් ගත කරන්න. ආලෝක පූජාවන් කර සෙත්පතා ගන්න.

කටක

මෙම ග‍්‍රහ මාරු කටක ලග්න හිමියන්ට මිශ‍්‍රපල දායකයි. හවුල් ව්‍යාපාර සාර්ථක වේ. උසස් අයගේ උදව් ලැබේ. නමුත් අඹු – සැමි සමගිය ආරක්ෂා කර ගැනීමට උනන්දු වෙන්න. රහස් සතුරන්ගෙන් ප‍්‍රවේශම් වෙන්න. දිනපතා ආගමික වතාවත් කර සූරිය පිරිත භාවිත කරන්න.

සිංහ

උදාවන මාසය බොහෝ දුරට සුබපල දායකයි. සේවක සහයෝගය ලැබේ. රැුකියා ව්‍යාපාර සාර්ථක කරගත හැකියි. සතුරන් හා තරගකරුවන්ගේ ජය ගත හැකි වේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. ශරීර සෞඛ්‍යය යහපත් වේ. සැලසුම් කර කටයුතු කිරීමෙන් බොහෝ දේ ඉටුකර ගත හැකියි.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ට මිශ‍්‍රපලදායක බවත් පෙන්වයි. ව්‍යාපාරවලට මුදල් යෙදවීමේදී දුරදිග බලා කටයුතු කරන්න. පෙම් සබඳතා හා විවාහ යෝජනාවලට ද බාධා පවතී. ශරීර සෞඛ්‍යය රැුක ගැනීමට උනන්දු වෙන්න. ඉක්මන් තීරණ ගැනීමෙන් වළකින්න. ආලෝක පූජාවක් කරන්න.

තුලා

බිරිඳ හෝ සැමියාට සුබදායකයි. උත්සාහය, ධෛර්යය ඉහළ යයි. ගෙදර දියුණුවට කරන කටයුතුවලදී තරමක බාධා ඇති විය හැකියි. නීතිමය කටයුතු හා ඉඩම්වල බෙදීම් ආදියට සුබ නොවේ. සහෝදරයකුට සුබයි. ජය පිරිත භාවිත කිරීමෙන් අසුබ මඟ හැරේ.

වෘශ්චික

රවි මාරුව සුබයි. වියදම් පාලනය කරගත හැකි වේ. උත්සාහය ද ධෛර්යය වැඩි වේ. රජයේ, නීතියේ පිහිට ලැබේ. සමාජයේ ගෞරවය හා

පිළිගැනීම ඉහළ යයි. රැුකියා, ව්‍යාපාරවලට ද තිබූ බාධා ඉවත් වේ. අරමුණු ඉටුකර ගත හැකි වේ. සැලසුම් කර කටයුතු කරන්න.

ධනු

මිශ‍්‍රපලදායකයි. පාප ග‍්‍රහයෙන් වන කුජ ලග්න ගතව ගමන් කිරීම හිසේ ඌෂ්ණාධික රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. මේ නිසා ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. ඌෂ්ණාධික ආහාරපාන පාලනය කර ගන්න. ඉවසීමෙන් කටයුතු කරන්න. ඉක්මන් තීරණ ගන්න එපා.

මකර

මකර ලග්න හිමියන්ගේ ලග්නගතව ශනි ද ගමන් කරන අතර රවි ලග්නගත වීම හා කුජ දොළහට පැමිණීම නිසා තරමක බාධා ඇති වුවත් ඒ බාධා ජයගත හැකි වේ. වියදම් පාලනය කර ගන්න. රෝගියෙකුට ඖෂධ ප‍්‍රදානය කරන්න. ජය පිරිත භාවිතා කරන්න.

කුම්භ

යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. සහෝදරයකුට සුබපලදායකයි. නමුත් උසස් අය සමග කරන කටයුතුවලදි ප‍්‍රවේශම් වෙන්න. උසස් අය අමනාප වීමට ඉඩ තිබේ. බිරිඳ හෝ සැමියාට දුර ගමනක් යෙදීමට ඉඩ ඇත. ආලෝක පූජාවන් කර සෙත්පතා ගන්න.

මීන

මීන ලග්න හිමියන්ට සුබදායකයි. රැුකියා, ව්‍යාපාර සාර්ථක වේ. සමාජ තත්ත්වය උසස් වේ. අමනාපයෙන් සිටි අය හිතවත් වේ. සහෝදරයකුට සුබයි. අලූත් මිතුරු මිතුරියන් හඳුනාගත හැකි වේ. උත්සාහය උනන්දුව වැඩි වේ. බලාපොරොත්තු ඉටුකරගත හැකි වේ. සැලසුම් කරන්න.

උදාවන සතියේ ග‍්‍රහ මාරු දෙකක්

advertistmentadvertistment
advertistmentadvertistment