උදාසීනවූ තරුණ ජවය යළි සක‍්‍රීය කර ගැනීම

764

කොරෝනා නිසා වඳ භාවයට පත්විය හැකි බවට පැතිර යන මතය බොහෝ තරුණ තරුණියන්ගේ සිත් තුළට තදින්ම කා වැදී පවතී නිතර නිදාගැනීමට සිත් ඇතිවේ

මෙම මානසික පීඩනය සහ කායික පීඩනය දුරුකර ගැනීමේදී තම ආහාර වේලට වඳුරු මෑ ඇට, තිත්ත තිබ්බටු, වරකා දළු, ඇඹරුල්ලා දළු ආහාර ලෙස රසවත්ව සකස්කර කෑමට ගත හැකිය

කොවිඞ් වසංගතය නිසා නිවාසවලට සිරවූ බොහෝ තරුණ තරුණියෝ යළි සංචරණ සීමා ලිහිල් වුවත් වෙනදා මෙන් එළියට පහළියට යන්නට මැළිකමක් දක්වති. උදාසීන බවකින් යුතුව සිටින ඔවුන්ගේ පැවැති පෙර ජීවන රටාව යළි සක‍්‍රීය කරගත හැක්කේ කෙසේදැයි කියා විමසා බැලීම වටී.

වෛද්‍යතුමනි, කොරෝනා නිසා මෙලෙස බිඳවැටුණු තරුණ ජීවිතවල අලස බව යළි ක‍්‍රියාශීලී කරන්නේ කෙසේද?

තරුණ ජීවිතවල වෙන කිසිදු වයසකට නැති ජව සම්පන්න බවක් පවතී. මෙම ජවසම්පන්න බව ඇතිවන්නේ තරුණ වයසේදී ඇතිවන කායික සහ මානසික ශක්තියේ පවතින උපරිම වර්ධනය නිසාය. මෙම වයසේදී ඔවුනගේ හෝමෝන ක‍්‍රියාකාරීත්වය උපරිම මට්ටමින් පවතී. එනිසා ඔවුන් තුළ ප‍්‍රබෝධමත් බවක් ක‍්‍රියාශීලී බවක් මතුවේ. නමුත් කිසියම් බාහිර බලපෑමක් නිසා මෙම ප‍්‍රබෝධමත් බව සහ ජව සම්පන්න බවට හානි ඇතිවේ.

කොවිඞ් වසංගතය නිසාද සිදුව ඇත්තේ එවැනි හානියකි. නිවස තුළට වැඩි කාලයක් සිරවී සිටීමට සිදුවීම, රෝගය සම්බන්ධව පවතින අධික බිය නිසා වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් තුළ දැඩි මානසික පීඩනයක් හටගෙන ඇත. මෙම තත්ත්වය නිසා ඔවුන්ගේ හෝමෝන ක‍්‍රියාකාරීත්වයේ වෙනසක් හටගෙන තිබේ. එනිසා සමාජයට යොමුවීමේදී වෙනදා නැති බියක් මතුවේ. දැඩි අලස බවක් හටගනී. එනිසා නිතර නිදාගැනීමට සිත් ඇතිවේ. රෝගය සම්බන්ධව පැතිරෙන වැරදි මත මෙම බිය තවත් වර්ධනය කරයි. විශේෂයෙන්ම කොරෝනා නිසා වඳ භාවයට පත්විය හැකි බවට පැතිර යන මතය බොහෝ තරුණ තරුණියන්ගේ සිත් තුළට තදින්ම කා වැදී පවතී.

මෙම මානසික පීඩනයන් නැති කිරීමට නම් ඔවුනට සත්‍යය වටහා දිය යුතුය. එය නිවැරදි වෛද්‍ය විද්‍යාත්මකව අවබෝධකර දිය යුතුය. එසේම පවතින කායික දුර්වලතාවයන් නැති කිරීමට ව්‍යායාමවල නිරතවීම සහ විනෝද ජනක කටයුතුවල යෙදීම කළ හැකිය. එහිදී තමා කැමැති ගීත රස විඳීම, පොත්පත් කියවීම, ක‍්‍රීඩාවන්හි නිතරවීම කළ හැකිය.

මෙම මානසික පීඩනය සහ කායික පීඩනය දුරුකර ගැනීමේදී තම ආහාර වේලට වඳුරු මෑ ඇට, තිත්ත තිබ්බටු, වරකා දළු, ඇඹරුල්ලා දළු ආහාර ලෙස රසවත්ව සකස්කර කෑමට ගත හැකිය. විශේෂයෙන්ම සේපාලිකා මල් වලින් සාදාගත් කොට්ටයක් නිදාගැනීමට යොදාගැනීමෙන් පවතින මානසික පීඩනය නැතිකර ගැනීමට පිළිවන. මෙලෙස මාසයක් පමණ කටයුතු කිරීමෙන් තමා තුළ පැවති අලස බව, බිය පහව යනු ඇත.

ලිංගික උත්තේජනයද යළි සක‍්‍රීයවන බව වටහාගත හැකිය.

උදාසීනවූ තරුණ ජවය යළි සක‍්‍රීය කර ගැනීම

සෘෂි නාඩි වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය
වෛද්‍ය ජිනසිරි ලියන්වෙල

advertistmentadvertistment
advertistmentadvertistment