උදේ කතාකරපු දුව හවස මැරුණා කිව්වාම පිළිගන්නේ කොහොමද…. දුවගේ මිනිය ගෙනැත් දෙන්න ලක්ෂ තුනහමාරක් ඉල්ලනවා දුප්පත් අපිට එච්චර සල්ලි කොහෙන්ද?

1142

මාසයක් තිස්සේ අසරණ දරුවන් දෙන්නා අම්මාගේ මූණ දකින්න බලා ඉන්නවා

ගකිවයුතු කිසිවෙක් තවමත් නිසි පිළිතුරක් දෙන්නේ නැහැ
මැලේසියාවේදී ගෙල වැලලාගත්තැයි කියන චතුරිකාගේ මව කියයි

”‍මගේ දුවගේ මිනිය ගෙනැත් දෙන්න ලක්ෂ තුනහමාරක් ඉල්ලනවා. අපි හරිම දුප්පත් මිනිස්සු. අපි කොහොමද මේ තරම් ලොකු මුදලක් හොයා ගන්නේ. දුව නැතිවුණ බව ආරංචි වෙලා දැන් මාසයක් වෙනවා. ඒත් මගේ දුවගේ මිනිය ගෙන්න ගන්න විදියක් නෑ. දුවගේ දරුවෝ දෙන්න දවස ගානේ බලාගෙන හිටියේ අම්මාගේ මූණ දැකගන්න. ඒත් දරුවෝ දෙන්නට අම්මාගේ මිනියවත් දැකගන්න විදියක් නෑ.”‍

තම දියණියගේ නිසල දේහය දැකගැනීමට පුරා මාසයක් තිස්සේ මගබලා සිටින අසරණ මවක් සංවේදීව එසේ පැවැසීය. තම දියණිය සැබෑ ලෙසම දිවි අහිමි කර ගත්තේද, නැතිනම් ඇය ඝාතනය කළේද, දියණියගේ දේහය කොහිද, ඇඟ ලේ කිරිකර පොවා ඇතිදැඩි කළ දියණියගේ නිසල දේහය හෝ දැකගැන්මට හැකිවේද, යන ගැටලූ‍ ඇගේ සිතේ වේදනාවන් අතර නිරතුරුව සක්මන් කරමින් පවතී. පසුගිය අගෝස්තු 24 වන දින රාත‍්‍රියේ මැලේසියාවේදී ගෙල වැලලාගෙන සියදිවි හානි කරගත් බව කියන බේරුවල, ගල්හේන ප‍්‍රදේශයේ පදිංචිව සිටි ටී.චතුරිකා ප‍්‍රියදර්ශනී සිල්වාගේ මව වන චන්ද්‍රානී ප‍්‍රියලතා මහත්මිය හඬා වැළපෙන අතරතුර නැවත නැවතත් පවසා සිටියේ තම දියණියගේ මරණය සැකසහිත බවයි.

”‍දුව මැරුණා කියන දවසේ උදෙත් දවාලෙත් කතා කළා. පොඩි දෙන්න එක්ක විහිළුත් කරලා හිනාවුණා. ඊට පස්සේ කතා කළේ නැති නිසා මම දුව රැුකියාව කරපු ක්ලීනින් සර්විස් එකේ අයිතිකාරයා කියලා දුව හඳුන්වලා දීල තිබුණු ලහිරු පුතාට කතා කරලා විස්තර ඇහුවා. ටික වේලාවකට පස්සේ මට ලහිරු පුතා කතා කරලා කිව්වා චතුරි නැතිවෙලා කියලා. උදේ කතා කරපු මගේ දුව ? නැතිවෙලා කිව්වම මම කොහොමද විශ්වාස කරන්නේ. මගේ දුවට බෙල්ලේ වැලදාගෙන මැරෙන්න තරම් ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි මේ මොහොතේ හරිම අසරණයි.”‍

දෙමාපියන් සමග වාසය කළ චතුරිකා වයස අවුරුදු 32 ක් වන රූමත් තැනැත්තියකි. එමෙන්ම ඇය වයස අවුරුදු 13 ක නව යොවුන් දියණියකගේ සහ අවුරුදු 10 ක පුංචි පුතකුගේ ආදරණීය මවකි. මියැදුනු මවකගෙන් පවා නොමියෙන මව් සෙනෙහස බලාපොරොත්තු වන මේ අහිංසක දරුවන් දෙදෙනා දකින මුළු ගල්හේන ගම්මානයම අද සුසුමින් ඇළලී ගොසිනි. දරු දෙදෙනාගෙත් දෙමාපියන්ගේත් දිවි ගමනට රුකුලක් වන්නට සිතූ චතුරිකාගේ කුණාටු සැඩපහර මැද ගෙවූ ජීවිත ගමනද අද නිමාවට පත්වී තිබේ.

චතුරිකා වසර ගණනාවක් පුරා මෙරට රූපලාවන්‍යය ක්ෂේත‍්‍රයේ රැකියාවක නිරත වූ අතර නිරතුරුව අත්විඳින ආර්ථික අගහිඟකම් මගහරවා ගැනීමේ අදහසින් ඇය එම ක්ෂේත‍්‍රයේම රැුකියාවක් සඳහා මැලේසියාව බලා පිටත්ව ගොස් තිබුණේ මීට වසරකුත් මාස හතකට පෙරාතුවය. එහෙත් කොවිඞ් ව්‍යසනය හේතුවෙන් සුපුරුදු පරිදි රැුකියා කටයුතු සිදුකර ගැනීමට නොහැකි නිසා ආපසු දෙමසකට පසු මෙරටට පැමිණීමට ඇයට සිදුවී තිබේ. ඉන් අනතුරුව පිරිසිදු කරන්නියක් ලෙස සේවය කිරීම සඳහා නැවත මැලේසියාව බලා යෑමට ඇය අවස්ථාව උදාකරගන්නේ එරට පිරිසිදු කිරීමේ කටයුතු භාර ආයතනයක් පවත්වාගෙන යන ලහිරු නම් පුද්ගලයකුගේ උපකාරයෙනි.

”‍ මට පුළුවන් කාලේ හම්බ කරලා මගේ දුවලා දෙන්නට කන්න බොන්න දීලා පුළුවන් විදියට ඉගැන්නුවා. පුස් සයිකලේ ඉන්දගෙන කෙල්ලව ඉස්කෝලේ එක්කගෙන ගියේ මේ ඊයේ පෙරේදා වාගේ. අපි වයසට ගියාම මගේ දුව බොහෝම අමාරුවෙන් හම්බකරලා අපි හැමෝවම බලාගත්තේ. අම්මටයි තාත්තටයි දැන් මහන්සිවෙලා වැඩකරන්න හොඳ නැහැ, ඒ නිසා මම රට ගිහින් කීයක් හරි හොයලා එවන්නම් කියලයි දුව රට ගියේ. දරුවෝ දෙන්නටත් උගන්වගෙන මේ නරා වළෙන් ගොඩ එයි කියලා අපි දුව ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඒත් ඒ හැමදේම එක රැුයකින් නැතිවෙලා ගියා. දුවට ඇත්තටම මොකක්ද වුණේ කියන එක අපිට අභිරහසක්…යැයි පවසමින් හඬාවැටුණු ටී.දයාරත්න සිල්වා මහතා දියණියක උස්මහත් කළ බලාපොරොත්තු සහගත අතීතය සිහිපත් කළේය.

චතුරිකා මියගිය බව පැවසුණද ඒ හා සම්බන්ධ තොරතුරු කිසිවක් ඉදිපත් නොවීම හා ඇගේ දේහය ලබාදීමට පමාවීම යන කරුණු දෙමාපියන්ගේ සැකය තව තවත් වර්ධනය කරන්නට හේතුවී තිබේ. එමෙන්ම මෙරට වගකිවයුතු ආයතන මේ සම්බන්ධයෙන් වගකීම් විරහිතව අලස ප‍්‍රතිචාර දැක්වීමේ න්‍යායක් අනුගමනය කිරීම චතුරිකාගේ දේහය මෙරටට ගෙන්වා ගැනීම සහ මරණයේ නීත්‍යානුකූල තොරතුරු අනාවරණය ප‍්‍රමාද වීමට හේතුවී තිබේ. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා චතුරිකාගේ දෙමාපියන් විසින් මෙරට මැලේසියානු තානාපති කාර්යාලයේ නිලධාරිනියකගේ යැයි සඳහන් දුරකතන අංකයක් ලබාදුන් අතර එම නිලධාරිනිය පවසා සිටියේ මාධ්‍යයට පිළිතුරු දීමට තමන් බැඳී නොසිටින බවයි.

චතුරිකාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන ක‍්‍රියාත්මක බැවින් ඉන් අනතුරුව දේහය මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය ඇගේ දෙමාපියන්ට පවසා තිබේ. එකී පිළිතුර ලබාදී පුරා මසක් සම්පූර්ණ වන මේ මොහොතේදීත් නැවත නැවත විමසා සිටියද ඔවුන්ගේ පිළිතුරෙහි දියණියගේ දේහය සම්බන්ධයෙන් දෙමාපියන්ට සුළු බලාපොරොත්තුවක්

තබාගැනීමට තරම් හෝ අන්තර්ගතයක් නොවීම කනගාටුවට කරුණකි. එමෙන්ම මෙරට මැලේසියානු තානාපති කාර්යාලය සහ මැලේසියාවේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වනතුරුත් චතුරිකාගේ මරණය සම්බන්ධයෙන් ඍජු මැදිහත්වීමක් නොදක්වන බව ඇගේ දෙමාපියන් පවසයි.

වගකිවයුත්තෝ ඇගේ දේහය දෙමාපියන්ටත් දරුවන්ටත් හඳුනාගැනීමට නොහැකිවන තුරු කල්තබාගැනීමට කටයුතු කර ඇත්තේ ඔවුන්ගේ ශෝකය තුනීවී යනතුරු විය හැකිය.

බේරුවල – චමින්ද ප‍්‍රසාද්

advertistmentadvertistment
advertistmentadvertistment