උදේ කෑම පමාවුණැයි කිපී 13 හැවිරිදි මානසික ආබාධිත මුණුබුරා යකඩ පොල්ලකින් පහරදී මිත්තනිය මරා දමලා

392

උදෑසන ආහාරවේල පිළියෙල කිරීමට ප්‍රමාද වීම නිසා කෝපයට පත්වූ තල්ගස්පිටිය ප්‍රදේශයේ 13 හැවිරිදි මානසීක ආබාධයකින් පෙලෙන බව කියන මුණුබුරා විසින් යකඩ මුගුරකින් පහරදී සිය 81 හැවිරිදි මිත්තනිය ඝාතනය කර ඇතැයි හෙම්මාතගම පොලිසිය පැවසීය.

පහරකෑමට ලක්ව මරණයට පත්ව ඇත්තේ ඊ 105, තල්ගස්පිටිය ලිපිනයේ පදිංචිව සිටි මනන්නලාගේ නන්දාවති නමැති 81 හැවිරිදි වයෝවෘධ කාන්තාවක් බව පොලිසිය පැවසීය.

හෙම්මාතගම පොලිසියට 12 දා දහවල් 11.45 පමණ ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේදී එම කාන්තාව කාමරයක ඇඳක ලේ විලක් මැද මරණයට පත්ව සිටි අයුරු දැක ඇත.

සිද්ධිය වන අවස්ථාවේ සැකකරුගේ මව පියා නිවසේ නොසිටි බවත් මියගිය මිත්තනිය හා මුණුබුරා පමණක් නිවසේ සිට ඇති බවත් එහිදි උදෑසන ආහාර වේල පිළියෙල කිරිමට ප්‍රමාද වීම නිසා ඉන් උරණ වූ මුණුබුරා විසින් යකඩ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට ද අනාවරණය කරගෙන ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධිය වූ ස්ථානයේ තිබී පහරදීමට යොදාගත් බවට සැක කෙරෙන යකඩ මුගුරක් හා පිහියක්ද පොලිසිය විසින් සොයාගෙන ඇතැයිද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය විසින් මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණය මහුවට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත් දිවෙල්ගම මහතා ස්ථානීය පරික්ෂාවක් සිදුකිරිමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුකිරීම සඳහා මළසිරුර කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ගෙන යෘමට පොලිසියට නියෝග කලේය. මිත්තණිය ඝාතනය කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් සැක එම නිවසේම පදිංචි මානසික ආබාධයකින් පෙළෙන යැයි පැවසෙන 13 හැවිරිදි මුණුබුරා 12 දා පස්වරුවේදි හෙම්මාතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය පැවසීය.

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්.ඩී. හේරත් මහතාගේ අධීක්ෂණයෙන් හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඒ.සී. සුමනසේකර මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරික්ෂක රණසිංහ, උප පොලිස් පරික්ෂකවරුන් වන රණවීර, හේමන්ත රත්නකුමාර, පොලිස් සැරයන්වරුන් වන 34694 විමලවීර, 70400 සෙනවිරත්න පොලිස් කොස්තාපල් 48568 උදයකුමාර යන නිලධාරින් විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි.

අරණායක රෝහණ ජයරත්න, හෙම්මාතගම රොහාන් සී. ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment