උදේ රැස්වීමේදී සිසුන්ට ක්ලාන්තෙ හැදෙනවා – ස්ටාලින් කියයි

97

පාසලේ උදෑසන රැස්වීම අතරතුර පාසල් දරු දැරියන් විශාල ලෙස ක්ලාන්තය සෑදී ඇද වැටෙන බවත්, දරුවන්ට නිසි පෝෂණ වැඩපිළිවෙළක් පාසලේදී රජය ක්‍රියාත්මක නො කිරීම මීට ප්‍රධානතම හේතුව බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා “දිවයින”ට ඊයේ (14 දා) පැවැසීය.

පාසල්වල ලක්‍ෂ 43කට අධික දරු  දැරියන්ගෙන් ලක්‍ෂ 11කට පමණ පෝෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවද එය ද මේ වනවිට නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවද හෙතෙම චෝදනා කළේය.

මෙහිදී තවදුරටත් කතා කළ ජෝශප් ස්ටාලින් මහතා මෙසේද කියා සිටියේය.

මීට පෙර යුනිසෙෆ් සංවිධානයෙන් කියා තිබුණා දරුවෝ හුඟ දෙනෙක් රෑට කෑම කන්නේ නැතුව නිදා ගන්නවා කියලා. ඒ වගේම ඔවුන් උදේටත් කෑම කන්නේ නැතුව පාසල් එනවා කියලා කියා තිබුණා. මේ තත්ත්වය මත දරුවෝ උදෑසන පාසල්  රැස්වීමේදී ක්ලාන්තය සැදිලා ඇදගෙන වැටෙනවා. බොරුවට මේ ආණ්ඩුව පෝෂණය ගැන දේශනා පවත්වනවා. ඉස්සෙල්ලා ආණ්ඩුව කරන්න ඕනේ පාසල් දරුවන්ගේ පෝෂණය ගැන සොයා බැලීමයි. එහෙම නැතුව පම්පෝරි ගහලා වැඩක් නැහැ. රටේ දරුවන්ට නිසි පෝෂණයක් ලබාදෙන්න බැරිනම් රටේ ජනතාවගේ ආහාර ප්‍රශ්නය විසඳන්න බැරිනම් මේ ආණ්ඩුව වහාම ගෙදර යන්න ඕනේ. අද කීදෙනෙක් රටේ දරුවෝ බඩගින්නේ ඉන්නවාද?

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment