‘උන්ඩියල්’ ඇවිලෙයි…. එක් අයකුට බරපතළයි සිව්දෙනෙක් නිදැල්ලේ

645

මීගමුව සමුහ – විමල් කීර්ති
 

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර හොරබඩු ජාවාරමක් ඇරඹීම සඳහා ඉන්දියාවේ පාතාල සාමාජිකයකු විසින් ශ‍්‍රී ලංකාවේ පාතාල කල්ලියකට ‘‘උන්ඩියල්’’ ක‍්‍රමය මත එවූ විශාල මුදලක් එම පාතාල කල්ලිය අතට පත් නොකර සැඟවුණ මුස්ලිම් ජාතිකයකු සොයා පැමිණ ඔහු තියුණු අවිවලින් කපා මරණාසන්න තත්ත්වයට පත්කර පළාගිය කෙසෙල්වත්තේ පාතාල කල්ලි සාමාජිකයන් සිවුදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා කොච්චිකඬේ පොලිසිය පුළුල් විමර්ශන අරඹා තිබේ.
 
 මේ සම්බන්ධයෙන් කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ‍්‍රීනික ජයකොඩි මහතා විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනය සිදු කිරීමට තැත්කළ පාතාල කල්ලිය කොළඹ කෙසෙල්වත්තේ පදිංචිකරුවන් බවය. මෙම පාතාල කල්ලිය මුහුදු මගින් හොරබඩු ජාවාරම් කරන පිරිසකි.
 
 මෙම කල්ලියට හොරබඩු ජාවාරමේ නිරතවීම සඳහා අවශ්‍ය මුදල් ඉන්දියාවේ පාතාල සාමාජිකයකු විසින් ඉන්දියාවේ සිට ‘‘උන්ඩියල්’ ක‍්‍රමයට ශ‍්‍රී ලංකාවට විශාල මුදලක් එවා ඇත.
 
 එම මුදල් එවා ඇත්තේ කොච්චිකඬේ පෝරුතොට පදිංචි මුස්ලිම් ජාතිකයකු වෙතය. එහෙත් මුස්ලිම් ජාතිකයා කෙසෙල්වත්තේ පාතාල කල්ලියට මුදල් ලබානොදී වංචා කළ බව පැවසේ. මෙයින් පසු කෙසෙල්වත්තේ පාතාල කල්ලිය කුලී මෝටර් රථයකින් කොච්චිකඬේ පෝරුතොට පදිංචි මුස්ලිම් ජාතිකයා සොයා ගොස් ඔහුට මන්නා පිහිවලින් පහර දී ඝාතනය කිරීමට තැත්කර ඇත. මුස්ලිම් ජාතිකයාට මන්නා ප‍්‍රහාර 50 ක් පමණ එල්ල කිරීමෙන් අනතුරුව මුස්ලිම් ජාතිකයා ලේ විලක් තුළ ඇදවැටී ඇත. ඔහු මියයන්නට ඇතැයි සැක පහළ කළ පාතාල කල්ලිය මෝටර් රථයෙන් පලාගොස් ඇත.
 
 කුලී පදනම මත ලබාගත් මෝටර් රථයේ හිමිකරු සහ රියැදුරු කැලණිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් දෙදෙනා 24 දා අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. එහිදී එම සැකකරුවන් දෙදෙනා විසින් වාහන ලබාදීම හැර පාතාලේ වැඩවලට සම්බන්ධ නොමැති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප‍්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ කරුණු අනුව එම සැකකරුවන්ට රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප නියම විය. අනෙකුත් පාතාල කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ. වැඩිදුර විභාගය නොවැම්බර් මස 25 වැනි දිනට කල් තැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment