උඳුවප් පෝය හා බැඳුණු ආශ්චර්යවත් උඩමළුව

297

උඳුවප් පෝය මෙරට ඉතිහාසයේ ස්වර්ණමය දිනයක් සිහිකරන්නකි. ඒ සිරිමා බෝ සම්ප්‍රාප්තියය. බුද්ධ වර්ෂ 236 තරම් ඈත දිනයක අපට මේ උරුමය ලැබුණි. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමෙන් පසුව මෙරට පැවැත්වූ විශේෂිතම රාජකීය උත්සවය වශයෙන් බෝධි රෝපණ උත්සවය හැඳින්විය හැක.

බෝධින්වහන්සේ රෝපණය කිරීම සඳහා භූමිය තෝරාගනු ලබන්නේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුවරයින් වහන්සේ සමාධි සුවයෙන් වැඩසිටි භූමිය සුදුසු භූමිය වශයෙන් තෝරාගෙන ඇත. දිවයිනේ හැම ප්‍රදේශයකින්ම ප්‍රාදේශීය නායකයන් ඇතුළුව බොහෝ පිරිස් මෙම උත්සවයට පැමිණ සිටියහ.

වංශකතාවන්හි සඳහන් පරිදි කතරගම වාසය කළ ක්ෂත්‍රිය රජ දරුවෝ ද චන්දනගම විසූ ක්ෂත්‍රිය රජ දරුවෝ ද තිවක්ඛ බ්‍රාහ්මණයා ද මේ අතර වූහ. බෝධි රෝපණ උත්සවය සිත් අලවන, ශ්‍රද්ධාව වඩවන, උත්සවයක් බව බෝධි වංශයේ මෙසේ වර්ණනා කෙරේ.

කෙසේ පිහිටවූ ද යත් ඒ බෝධිගුප්ත කුමාරයන් ප්‍රධාන කොට ඇති සොලොස් ජාති සම්පන්න කුලයෝ සර්වාභරණයෙන් සැරසී රජ වෙස් ගත්තාහු ය. රජදරුවෝ දොරටුපාල වෙස් ගත්තාහු ය. සොලොස් ජාති සම්පන්න කුලයෝ මහබෝධීන් වහන්සේ රථයෙන් බාවා පිහිටුවන පිණිස එතන්හි හැරලූහ. මහබෝධීන් වහන්සේ ඔවුන් අතින් මිදුන කල්හි අසූරියනක් පමණ ආකාශයට පැන නැගී ශඩ්වර්ණ රශ්මි මාලාවන් විහිද වූ සේක. රශ්මීහු සියලු ලංකාද්විපයෙහි පැතිර ගත්තෙන් බ්‍රහ්මලෝකයද පැතිර සිටියාහු ය. එහෙයින් කියන ලදි. ඒ බෝධීන් වහන්සේ හිරු අස්තයට යන තෙක් සවනක් රැස් විහිදුවමින් ආකාශයේ වැඩසිටි සේක. හිරු අස්තයට ගිය කල්හි ආකාශයෙන් බැස රෙහෙණ නැකතින් භූමියෙහි පිහිටි සේක යනුවෙනි.

අදටත් බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ එදවස රෝපණය කළ මේ පුණ්‍ය භූමියෙහි ය. මෙය සැලසුම් සහගතව ඉදිකරන ලද භූමි කොටසකි. වේදිකාවක් හා සමාන ය. ඇතැම් තොරතුරු අනුව මිහිඳු මාහිමි දකුණු ශ්‍රී හස්තයෙන් මේ ප්‍රමාණය විය යුතුයැයි රජුට පෙන්වූ භූමි ප්‍රදේශයකි.

වර්තමානය වන විට මහ පොළවේ සිට අඩි 21ක් උසින් ද අඩි 71 දිගින් ද අඩි 57ක් පළලින් ද යුක්ත ය. පිහිටි පොළවේ සිට මෙබඳු උසකින් බෝධීන් වහන්සේ රෝපණය කිරීමට මිහිඳු මාහිමි ඇතුළු රාජකීයයන් බලාපොරොත්තු වූයේ දැඩි ආරක්ෂාව සඳහා යැයි සිතීම යුක්ති සහගත ය.

බෝධීන් වහන්සේ වටා තරමක් ඈතින් වැව් හා මල්වතු ඔය වැනි ජලාශ පිහිටා ඇත. අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා බොහෝවිට මේ ජලාශ පිටාර ගලා ඇතිවන ගංවතුර වැනි විපත්වලින් බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට දූරදර්ශී ලෙස සිතා ගත් වැඩපිළිවෙලක් විය හැක.

නිදසුනක් වශයෙන් 1959 ගැලූ ගංවතුර පෙන්වාදිය හැක. එම ජල ගැල්මෙන් උඩමළුව ආසන්නයටම වතුර ගලා ඇතත් අනතුරක් සඳහා බලපාන කිසිවක් නොවී ය.

උතුරුමැද, රජරට, නුවර කලාවිය වශයෙන් හඳුන්වනු ලබන අනුරාධපුරය යුග ගණනාවක් සොඳුරු වනගොමුවලින් හැඩ වැඩ වූ ප්‍රදේශයකි. මේ වනගොමුවල අලංකාරයට මෙන් මුව, ගෝන, අලි, ඇත් සේනා නිතර නිතර ජීවත් වූහ. අලි ඇතුන්ගේ ප්‍රධාන ආහාරය ගස්වල කොළ අතු ය. තල්, පොල්, කිතුල්, කෙසෙල් ප්‍රියකරන ඔවුන් බෝ ගස්වල අතු ඉති කෑමට මහත් අභිරුචියක් දක්වති. මේ නිසාම බෝධීන් වහන්සේ රැකගැනීම උඩමළුවේ වැඩසිටි හිමිවරුන්ටත් කපු මහත්වරුන්ටත් අතැම් අවස්ථාවල අභියෝගයක් විය.

එවිට මළුව හතරකොණ ගිණිමැල ගසා නිදිවරමින් කෑකෝගසමින් පන්දම් දල්වමින් ඔවුන් පලවා හැරීමට ගත් උත්සාහයන් ප්‍රශංසාකටයුතු ය.

රජරට වැසියන් එදා බෝසමිඳු වන්දනාමාන කිරීම සඳහා පැමිණියේ ගැල්වලිනි. ඒ එන ගමනේදී ඔවුහු ගැල්වල දර පුරවාගෙන පැමිණිය හ. බෝ සමිඳු රකින පිරිසට රාත්‍රී කාලයේ පැමිණෙන අලි ඇතුන් පලවා හැරීමට මේවා ගෙන එනු ලැබිණි. එසේ ඔවුන් වැඩිවශයෙන්ම පැමිණියේ නිකිණි සමයේ ය. මෙලෙස දර විශාල ප්‍රමාණයක් රැස්වන දිනය වන නිකිණි පෝය දරමිටි පෝය ලෙසින් ඉතිහාසයට එකතු විය.

ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ වෙසෙන්නේ මළු කීපයක් මැද ය. පහත මළුව වැලි මළුව ලෙසත් දෙවැනි මළුව දේවාල වැලි මළුව ලෙසත් තුන්වැනි මළුව දෙවැනි රන්වැට මළුව ලෙසත් භාවිතා කෙරේ. සිරිමා බෝ සමිඳු වැඩවෙසෙන්නේ පළමු රන්වැට මළුව තුළ ය. පහත වැලි මළුව තුළ ශෛලමය ප්‍රාකාරයකි. දහඅටවන සියවසේ අගභාගයෙහි සෙංකඩගල රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ උපදෙස් මත ඉලුපැන්දෙනියේ අක්ථදස්සී හිමියන්ගේ මැදිහත්වීමෙන් මෙම ප්‍රාකාරය ඉදිකර ඇත.

මේ ප්‍රාකාරය කරවීමේ පරමාර්ථය වූවේ ද අලි ඇතුන්ගෙන් බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීමයි. දිගින් අඩි 330කින් ද පළලින් 274කින් ද උසින් අඩි 10කින් ද ඝනකමින් අඩි 5කින් ද මෙම ප්‍රාකාරය යුක්තවේ. මේ තරම් උසකින් බෝධීන් වහන්සේ වැඩ සිටියත් 1929 ජූලි මස 30 වැනි දින කටුවාවල ජේමිස් නම් පුද්ගලයෙක් බෝධීන් වහන්සේ කපාදැමීමට උත්සාහ දරා ඇත. මේ අවස්ථාවේ ඔහුව මෙල්ල කර අතැති පොරව උදුරා වීසිකර බෝධීන්වහන්සේ ආරකෂා කර ගත්තේ එවකට රුන්වැලි චෛත්‍යස්ථානයේ වැඩසිටි පල්ලේගම ධම්මරක්ඛිත නාහිමියන් විසිනි. එවකට අටමස්ථානාධිපතිව වැඩසිටියේ පල්ලේගම රතනපාල නාහිමියන් ය. අප ඉහත සඳහන් කළ බෝධි ප්‍රාකාරය, ඇතැම් යුගවල රට පාලනය කළ රජවරුන් විසින් බෝධීන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ මට්ටමින් සංවර්ධනය කර තිබේ.

අනුරාධපුර මුල් යුගයේ ක්‍රිස්තු වර්ෂ 182 දීත්, ක්‍රිස්තු වර්ෂ 233 දීත් කළුගල් උපයෝගී කරගෙන මෙම ප්‍රාකාරය ශක්තිමත් කළ බව සඳහන්වේ. ක්‍රිස්තුවර්ෂ 240 රාජ්‍යත්වයට පත් අභය රජතුමා ද ක්‍රිස්තුවර්ෂ 1153 පරාක්‍රමබාහු රජතුමා ද මහසෙන් රජතුමා ද, දෙවන පරාක්‍රමබාහු රජතුමා ද ඇතුළු බොහෝ රජවරු මෙහි ප්‍රතිසංස්කරණයන් කර තිබේ.

1815 මෙරට පාලන බලය අල්ලාගත් බි්‍රතාන්‍යයන් විසින් ද බෝධීන් වහන්සෙගේ ආරක්ෂාව සලසා ඇත. ඉංග්‍රීසීන්ගේ ඉතිහාසඥයෙකු වූ ශ්‍රීමත් එවර්සන් ටෙනන්ට් මෙහිලා වැදගත් කෙනෙකි. ඔහු බෝධීන් වහන්සේගේ වටිනාකම ගැන සඳහන් කර ලියැවිල්ලක් මේ ඉතිහාසයට එක් කළේ ය. ඔහු විසින් රචිත ශ්‍රී ලංකාව නමැති ග්‍රන්ථයේ එම ලියැවිල්ල අඩංගු ය.

ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවටත් ගාම්භීරත්වයටත් අනුරූපව බෝ සමිඳු වැඩවසන ඉහළ මාලයේ ඉදිකර ඇති රන්වැට සුවිශේෂී ය. අටමස්ථානාධිපති උඳුරව-හල්මිල්ලෑවේ ශ්‍රී සුමන රේවත නාහිමියන්ගේ අනුශාසනා මත මහනුවර රාජසිංහ පොත්ගුල් විහාරාධිපති යටිරාවණ නාරද හිමියන්ගේ මැදිහත්වීමෙන් සහ එවකට මහනුවර මහ දිසාපති නිශ්ශංක විජේවර්ධන මහතාගේ සහයෝගයෙන් පිහිටුවාගත් කමිටුවක් මගින් 1963 ජූලි මාසයේ මෙහි වැඩ කටයුතු ආරම්භ කරන ලදි. 1969 අගෝස්තු 11 වැනි දින උත්සවාකාරයෙන් එය විවෘත කරන ලදි. බෝමළුවේ පරණ පන්සලේ වැඩසිටි සාමනේර නමක් වශයෙන් මම මේ අවස්ථාව සියැසින් දුටුවෙමි. ආරාධිත අමුත්තා වූවේ එවකට අග්‍රාමාත්‍ය පදවිය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඉහළ මාලේ පළමු රන්වැට ඉදිකරනු ලැබූවත් පහළ මාලේ වූයේ දිරාගිය පරණ සුදු යකඩ වැටකි. එය නොගැලපෙන්නක් වශයෙන් හඳුනාගෙන ඉවත් කර දෙවැනි රන්වැටක් ඉදිකරන්නට එවක අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාමිහියෝ මුල පිරූහ.

එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවක ඒ මහතාට මේ වග දැනුම් දීමෙන් පසු එම යෝජනාව සතුටින් භාරගෙන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධී රන්වැට අරමුදල පිහිටුවනු ලැබිණි. එම කමිටුවේ මංගල රැස්වීම පැවැත්වුණේ 2002 අප්‍රේල් 27 වැනිදායි. දේශමාන්‍ය කේ. එච්. ජේ. විජේදාස මහතා මෙහි සභාපතිත්වය දැරූ අතර කමිටුවේ ලේකම් වූයේ ඩබ්ලිව්. ඒ. සිරිසේන මහතායි.

මෙම රන්වැට ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලද්දේ 2002 මැයි 23 වැනි දිනයි. මෙම රන්වැටෙහි කුඩා කණු 306කි. ලොකු කණු 69කි. වර්ෂ 2003 මැයි මස 14 වන එම අග්‍රාමාත්‍යවරයා විසින් උත්සවාකාරයෙන් දෙවන රන්වැට විවෘත කරනු ලැබිණි. රන්වැට ඉදිකිරීම සඳහා රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් පමණ වැයවිණි. මළු හතරකින් සමන්විත අඩි 71ක් දිගින් ද අඩි 57ක් පළලින් ද අඩි 21ක් උසින් ද පිහිටි බෝධි ප්‍රාකාරයක් තුළ ඉහත සඳහන් සත්කාරයන් ලබමින් බෝ සමිඳු බුද්ධශ්‍රීයෙන් විරාජමාන වෙමින් වැඩවසන නිසා මේ විහාර සංකීර්ණය උඩමළුව ලෙස බොහෝ කාලයක සිට ව්‍යවහාර කරමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. ජනවහරේ පැතුම් කවි තුළ ඒ බව මෙසේ සඳහන් ය.

උඳුවප් පෝය හා බැඳුණු ආශ්චර්යවත් උඩමළුව
උඳුවප් පෝය හා බැඳුණු ආශ්චර්යවත් උඩමළුව

අනුරාධපුර ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ
ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment