උපන් බිම බලන්නට ආ කාබනික (දළ)ඹුවා!

92

එක්තරා වනාන්තරයක වූ විශාල ඇහැටු වෘක්ෂයක පලූපත් අතර ජන්ම ලාභය ලැබූ (දළ)ඹුවෙකු සිය ජන්මය පිළිබඳව මහත්වූ කලකිරීමකින් යුතුව සිතන්නට වුණා.!

‘‘මොන කෙංගෙඩියකටද මේවගේ අධමයින් මිනීමරුවන් හොරුන් වංචනිකයින් ඉන්නා රටක මා උපත ලැබුවේ. අම්මපා! මට දැන්ම මෙහෙන් චුත වෙලා යන්න පුළුවන්නම් වෙන රටකට ආයෙත් දෙකක් නෑ……. පට් ගාන කොට මාරු වෙලා යනවා ! කොහෙද ඉතින් ! වීසා ගන්න ඕනෑ කියයි ! පාස්පෝට් ගන්න ඕනෑ කියයි මෙඩිකල් ටෙස්ට් කරන්න ඕනෑ කියයි ! ඒක ඉතින් ලෝංග් ස්ටෝරියක් නේ ! , මෙහෙම හිත හිතා ඉන්න අතරේ දවසක් ඇහැටු ටී‍්‍ර එකේ ගෙඩි කන්න ආපු රිලවෙක් දළඹුවාට මාට්ටු වුණා දළඹුවාත් ෆුල් ෆ්‍රෙඩා ලෙවල් එකෙන් රිලවා එක්ක ටෝක්ස් එකක් දැම්මා.

‘‘මං රිල්වාන් ! ’’

‘‘හායි ! ජංගල් එකේ හැමෝම මට කියන්නේ බුවා කියලා ! මේ ජංගල් එකේ නොදන්න එකෙක් නෑ බුවා කියපුවාම කවුරුත් දන්නවා ! ’’

‘‘මාත් එහෙමයි ඩම්පිං රිල්වාන් කිව්වා නම් කවුරුත් දන්නවා ’’

‘‘ මිස්ටර් රිල්වාන් මොකද කරන්නේ ’’

‘‘මෙහෙමනේ දැන් මෙහේ ඉන්න එවුන්ගෙන් සියයට අනූනමයක්ම වෙන රටකට පනින්නේ කොහොමද කියලා බලා ගෙන ඉන්නේ අපි කරන්නේ එහෙට යන්න කැමති එවුන්ව මාට්ටු කරගෙන පිට ප‍්‍රාන්තයකට හරි රටකට හරි ගිහිං දාන එකයි

ගාන හැත්තෑ පහයි ! හැබැයි මෙහෙමෙයි අපි ගිහිං දාන්නේ බෝඩර් එකට විතරයි සෙකියුරිටි ෆෝසස් වලට මාට්ටු නොවී රටට රිංගන එක තමුන්ගේ වැඩක් ! රටකට ගිහිං දාලා එන හින්දා මට කවුරුත් කියන්නේ ඩමිපින් රිල්වාන් කියලා !’’

‘‘හරි ! මාව ගිහිං දාලා එනවා නම් කීයක් ගන්නවාද’’

මේ ජංගල් එකෙන් පනින්න තියෙන උවමනාව හිතේ හංගාගෙන නිකං බබා පාට් එකෙන් බුවා රිල්වාන්ගෙන් ඇහුවා’’ තඹ සත පහක් එපා මලේ මං උඹව කෙලින්ම රට ඇතුළටම දාලා එන්නම් වීසා මොන බම්බුවටද ඒවා මං ඔක්කොම බලාගන්නම්, රිල්වාන් එහෙම ටෝක්ස් එකක් දුන්නේ වෙන මොකවත් හින්දා නෙමේ බුවාව මෙහෙන් පන්නා ගත්තා නම් කිසි ගේමක් නැතුව තනිවම ඇහැටු ගහේ ගෙඩි ටික තමන්ට තනිවම බදර් කරගන්න පුළුවන් හින්දා !

කොහොම හරි රිල්වාන් බුවා නොහොත් දළඹුවා වනාන්තරයේ පිටත වූ ජනපදයෙක ගම මෑන්ස් කෙනෙකුගේ ෆාම් එකකට දාලා කැකිරි කොමඩු ගෙඩි කීපයකටත් ගේම දීලා ස්ලිං ගාන කොට මාරුවුණා !

මේ ෆාම් එක අයිති ගම මෑන්ස් බොහොම ධර්මිෂ්ඨ පොරක් ! වල්නාශක කෘමිනාශක රසායනික භාවිතාවක් නෑ. ඔක්කොම ගේම දෙන්නේ තනිකරම කොම්පෝස්ට් වලින්. අල බතල ගෝවා මල්ගෝවා කැරට් ලීක්ස් බීට්….. නැත්තේ මොනවද ! අටුකොස් විතරයි ! ඔක්කොම බඩු මෙතන තියෙනවා එළවළු මාකට් එක මොන බම්බුවක්ද මෙතන නේ තැන ! බුවාට අද කොල ජාති ඕනෑ නම් ඒවා කනවා ! අල කන්න ඕනෑ නම් ඒවා කනවා ! පිටින් කන්න ඕනෑ නම් එහෙම කනවා ඇතුළට රිංගලා කනවා නම් එහෙම කනවා ! ආයේ බය වෙන්න කාරියක් නෑ වස විස නෑ!….. ජීවිත අවදානමක් නෑ!… කනවා බොනවා ෆාම් එකේ ගෝවා ගහක හරි ලීක්ස් ගහක හරි නැත්තං බෝංචි වැලක හරි ෆුල් ෂපාන් එකේ ඇලයක් දාගන්නවා.

අම්මට සිරි ගජ! ටික දවසක් යනකොට බුවා ! පිඹුරෙක් තරමට විශාල වුණා ! මොකද කියනවා නම් ෆුල් ෆ්‍රෙෂ් වෙජිටබල් ඩයට් එකක්නේ ගන්නේ. කොටින්ම මේකා දළඹුවෙක්ද නැත්තං අර මකරෙකුගේ පැටියෙක්ද කියලා කාටවත් හිතාගන්න බෑ. මේ විදියට ටික කාලයක් යනකොට බුවා නොහොත් මේ අපූරු සත්වයාට තමන් උපන් ගම් බිම් බලලා එන්න ආසාවක් ඇතිවුණා.

ඒත් කොච්චර දුරක් නම් බඩ ගාන්නද! මේ වැඬේට මාට්ටු කරගන්න හොඳම එකා තමයි එහෙ ඉඳන් මෙහෙ කන මෙහෙ ඉඳන් එහෙ කන බැට්ටිස් ! බුවා බැට්ටිස් පොරව අල්ලා ගන්න ඉදුනු අඹ පිරී තිබුණ ගහකට නැගලා බැට්ටිස් නොහොත් වවුල් තෙමේ සප් එකට එනකම් ඇලට් එකේ හිටියා!

? දෙගොඩ හරි යාමේ කොහෙදෝ ටුවර් එකක් දාලා හාන්සි පයිස් ගහලා ආපු බැට්ටිස් නිතඹ සලා ඉදුනු අඹ පිරි අල්පොන්සු රුකෙක එල්ලූනා ! බුවා සයිලන්ට් එකේම බැට්ටිස්ට කිට්ටු කෙරුවා. ඇෙ`ඩන්න ටෝක්ස් එකක් දුන්නා. වනාන්තරයට යන්න ලිෆ්ට් එකක් දෙන්න පුළුවන්ද කියලා . වැඬේ ගානට සැට් වුණා. වවුල් පොර නොහොත් බැට්ටිස් එක්ක බුවා එදා නයිට් එකේම තමාගේ බර්ත් ප්ලේස් එක වන ජන්ගල් එකට ගුවනින් ඇවිත් පාක් කෙරුවා. බුවාව ජන්ගල් එකේ ඩ්‍රොප් කරපු බැට්ටිස් එළිය වැටෙන්න කලින් මාරු වුණා.

පාන්දරින්ම වනාන්තරයට ඇන්ටර් වෙලා ඉන්න මේ අබිලික් පොර මොකෙක්ද කියලා හිතා ගන්න බැරුව හැම එකාම පුදුමයෙන් වගේ සූම් එක කරකවා බලන්නට වුණා.

‘‘හේයි කවුද උඹ ! අ`ගහරු ලෝකෙන් පාත් වුණ ඒලියන් කෙනෙක්ද’’

‘‘පිස්සුද අයියා මං බුවා! අර ඈත පේන ඇහැටු ගහේ ඉපදුන (දළ)ඹුවා

‘‘යකෝ ! තෝ දළඹුවෙක්ද මෙච්චර විශාල…. හරියට මකරෙක් වගේ නේ !

‘‘මෙහෙමනේ අයියා ! මං ඉන්නේ අර මායිම් ගම්මානයේ කොම්පෝස්ට් ෆාම් එකේ….. ඒකේ වැඩ යන්නේ ඔක්කොම කොම්පෝස්ට් වලින් ! ෆ්‍රෙෂ් ෆුඞ්! හොඳට සප් වදිනවා! කොම්පෝස්ට් බඩුනේ ! නෝ කිඞ්නි ට‍්‍රබල් නෝ ප්‍රෙෂර් නෝ ඩයබෙටික් ! නෝ හාට් ට‍්‍රබල් ! සැපේන් සොමියේන් ඉන්නවා ! කොම්පෝස්ට් බඩු මාර ඩිමාන්ඞ්නේ….

‘‘ අනේ මලයා…. මාත් මාර ආසයි බාං…. කොම්පෝස්ට් බඩු වලට’’

දෙපාරක් බිමට කෙටූ ඇටිකොක් කෙනෙක් බුවාට කිට්ටු කරලා ෂේප් එකේ ටෝක් එකක් දුන්නා!

‘‘මේ බලපං! ෆුල් ෆිට් බොඩිය වේට්ස් කරලද’’ ….. ජිම් ගිහිල්ලද නෑ…. තනිකරම කොම්පෝස්ට් බොඩිය’’

‘‘ෂෙහ් මාරයිනේ ! එතකොට උඹේ බොඩියත් තනිකරම කොම්පොස්ට් නේ’’…..

‘‘නැත්තං ! රස මිස වස විස නෑ’’ තවත් යමක් කියන්නට මත්තෙන් කොම්පොස්ට් වලින් හදන ආහාරත් එකයි ඒ ආහාර කාලා හැදෙන බොඩියත් එකයි කියු ඇටිකොක් කොම්පෝස්ට් ආහාර වේලක් ගැනීමේ රිසියෙන් දෙපාරට බුවා නොහොත් (දළ)ඹුවා ගිල දැම්මා.

ආදර්ශය : කොම්පෝස්ට් නිසා (දළ)ඹුවෝ ඇටි කොක් ස් ලාට බදර් වෙති!

සරත්චන්ද්‍ර පත්තඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment