උපන් වෙලාවට අනුව වෘත්තියකුත් උරුමයි

4998

අද අපි කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට ඉතාමත්ම වැදගත් මාතෘකාවක් වන වෘත්තීය මට්ටම නැතහොත් රැකියාව ගැනයි. විශේෂයෙන් දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමගින් බොහෝ දෙනකුගේ රැකියාවන් පිළිබඳ විවිධාකාරයේ ගැටලූකාරී තත්ත්වයන් ඇති විය. ඒ අනුව රැකියාව කෙනෙකුගේ ජීවිත පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූ අංගයක් වෙනවා. ඉතාමත්ම පැහැදිලිව හා නිවැරදිව කෙනෙකුගේ වෘත්තීය මට්ටම නැතහොත් රැකියාව ගැන අපට ජ්‍යොතිෂයෙන් පැවසිය හැකියි.

අධ්‍යාපනයෙන් පසුව සෑම ජන්මියෙකුගේම පරමාර්ථය වන්නේ ඉදිරි පැවැත්ම උදෙසා රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීම සෑම කෙනෙකුගේම ප‍්‍රමුඛ බලාපොරොත්තුවයි. රාජ්‍ය, පෞද්ගලික, ව්‍යාපාරික ස්වයං රැකියා ආදී වශයෙන් රැකියා විවිධත්වයකින් යුතු වෙනවා. පුද්ගලයෙකු උපතේ සිට යෞවනයට පත් වන තුරු බොහෝ විට ජීවත් වෙන්නේ යැපෙන්නෙකු වශයෙන්. ඇත්තටම ඔහු හෝ ඇය එම කාලය ගත කරන්නේ දෙමාපිය හෝ වැඩිහිටියන්ගේ සෙවනේ. ඉතින් මෙම යෞවනයේ සිට තමයි ඔහු හෝ ඇය නිදහසේ කලඑලි බහින්නට සැරසෙන්නේ. අන්න ඒ යෞවනයේ සිට ඇරඹි නිදහස් කාලපරිච්ෙඡ්දයේ ආරම්භයත් සමග ඔහු හෝ ඇයට රැකියාවක අවශ්‍යතාව දැනෙනවා. තම අරමුණු සඳහා තනිවම යෑමට උත්සාහ දරන සමයේදි රැකියාවක් සඳහා යොමුවීමට සිතුවිලි මනසට පහල වෙනවා. මෙන්ම මේ සිතුවිලි පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධත්වයක් ගන්නවා. කෙනෙක් පටන්ගැන්මේ සිටම ඉහළ පෙළේ රැකියාවක් බලාපොරොත්තු වෙනවා. තවත් කෙනෙක් සාමාන්‍ය රැකියාවකින් සෑහීමට පත් වෙනවා. ඒ වගේම කෙනෙකු රැකියාවට යොමු නොවීමේ තත්ත්වයකුත් තිබෙනවා. ඉතින් අප මෙහිදී තේරුම්ගත යුතු සත්‍ය තමයි තමන් පූර්ව ආත්මයේ කළ පිං හා පව් මත පුද්ගලයා උපදින විටම කර්මානුරූපව තමන්ට උරුම රැකියාවක්ද හිමිකරගෙන එන බවයි.

එදා රාජ සභාවේ රජතුමාට උපදෙස් දෙන්න ජ්‍යොතීෂවේදියෙක් හිටියා. ඔහු ඉතාමත් වැදගත් හා ප‍්‍රධාන පුද්ගලයෙක් වුණා. ඉතින් මේ ජ්‍යොතිෂවේදියා තමා එදා ඒ ඒ අංශයන්ට දක්ෂයන් තෝරා ඒ ඒ අංශ වෙත යොමු කරවන්නට රජතුමාට උපදෙස් දුන්නේ. ඔහු ඒ දෙය කළේ පුද්ගලයන්ගේ ජන්ම පත‍්‍ර උපයෝගි කරගෙනයි. ඔහුට ඒ තුළින් හැකියාව ලැබුනා. නියමිත කාර්යයට නියම සුදුස්සා යොමු කරවන්න. ඉතින් අපට එයින්ම පැහැදිලි වෙනවා මේ හඳහනේ වැදගත්කම. කෙනෙකු උපදින විට කර්මානුරූපව පූර්ව ආත්මයේ කළ පිං පව් මත තමන්ට උරුම රැකියාවක් හිමිකරගෙන එනවා. ඉතින් ඒ අනුව තමා කෙනෙකුගේ රැකියාවේ මට්ටම තීරණය වෙන්නේ. මෙය කෙනෙකුගේ ජන්ම පත‍්‍රය තුළින් ජ්‍යොතිෂවේදියාට පැහැදිලි කර ගත හැකියි.

කෙනෙකු ඉහත ආත්මයේ කළ කී දෙය මත තමා මේ ආත්මයේ ඔහුගේ ජීවන තත්ත්වය තීරණය වෙන්නේ. මේ සියල්ලම කර්මානුරූපව සිදුවන දේවල්. ඇත්තටම මේක රැකියාවට පමණක් නොවෙයි ජීවිතයේ සියලූ දේට බලපානවා. මෙන්න මේක තමා හඳහන කියන ග‍්‍රහ සිතියම තුළින් අපි විග‍්‍රහ කර බලන්නේ. අතීතයේ විසූ අතිශය උගත් හා බුද්ධිමත් ඒ වගේම මනස දියුණු කළ දුරදක්නා නුවණින් යුතු පුරාණාචාර්යවරුන් නැතිනම් ඉසිවරු විසින් යම් රීතියකට අනුව අපේ මේ විශ්වය රාශි 12 කට බෙදා වෙන්කරමින් අහස් සිතියම නිර්මාණය කළා.

පෘථග්ජන අපට නම් මේ ක‍්‍රියාවලිය හිතාගන්න පවා අපහසුයි තමා. අන්න ඒ අහස් සිතියමට අනුව යම් ජන්මියෙකුගේ උපත සිදුවූ වේලාවට අනුව සකසන ජන්ම පත‍්‍රය අනුව තමා රැකියාව තීරණය වෙන්නේ. මෙන්න මේ කොටු 12 අතරින් 10 වැන්න තමා අප මේ සඳහා යොදා ගන්නේ. යම් පුද්ගලයෙකු මෙලොව උපදින විට අහස් සිතියමේ පෑයූ ග‍්‍රහ තාරකාවන්ගේ බලපෑම ඔහුට අනිවාර්යෙන්ම ලැබෙනවා. ඉතින් මේ නැගෙනහිර සිතිජයේ උදා වූ ග‍්‍රහ බලයේ බලපෑම මත සකසන හඳහන මත තමයි පුද්ගලයාගේ අනාගත රැකියාව කුමක්ද යන්න පිළිබඳව අපට නිවැරදි සංඥාවක් ලබා ගත හැකි වෙන්නේ.

රැකියාව ගැන විමසීමේදී කොටු 12 කින් යුත් ඔබේ ජන්ම පත‍්‍රයේ 10 වන භාවය එසේත් නැත්නම් 10 වන කොටුව පිළිබඳව තමා මූලික අවධානය යොමු කළ යුතු වන්නේ. එම ස්ථානය රැකියා ස්ථානය හෙවත් කර්මස්ථනය ලෙස අප හඳුන්වනවා. ඒ වගේම 10 වැන්නේ සිටින ග‍්‍රහයන්, ග‍්‍රහ සංයෝග, ග‍්‍රහ දුෂ්ටි ඒවගේම 10 වැන්නාධිපතිගේ තත්ත්වය හා එම ග‍්‍රහයා සිටින භාවය හා එයට යොමු වන ග‍්‍රහ දුෂ්ටි පිළිබඳව අප අවධානය යොමු කළ යුතුයි. එය සියුම්ව නිරීක්ෂණය කිරීම තුළින් ඔබට ලැබෙන රැකියාව පිළිබඳව ඉතාම නිවැරදි නිගමනයකට එලඹීමට දක්ෂ ජ්‍යොතිෂවේදියාට හැකියාව තිබෙනවා.

මීට අමතරව අවධානය යොමු කළ යුතු තවත් කරුණු ලග්නභාවය හා ලග්නාධිපතිගේ තත්ත්වය 5 හා 9 වන රාශි ඒවගේම රැකියාකාරක රවි ගේ තත්ත්වය හා ඉහත දැක්වූ භාවයන් වලට යොමු වන ග‍්‍රහ දුෂ්ටි හා ග‍්‍රහ සංයෝග කෙරෙහිද අප අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම 2 හා 11 වැන්නේත් යම් බලයක් තිබිය යුතුයි. කේන්ද්‍රයේ 2 වැන්න කියන්නේ පුද්ගලයාගේ ධනස්ථානය. 11 වැන්න කියන්නේ අයස්ථානය. ලග්නාධිපති හා ලග්නභාවයේ ශක්තිමත් භාවය රැකියා තත්ත්වයන් කෙරෙහි ඉතාමත්ම වැදගත් වෙනවා. ඉහත කාරණය තවදුරටත් පැහැදිලි කළොත් ලග්නාධිපතිගේ ශක්තිමත් භාවය කියන්නේ ලග්නාධිපති නීච, සතුරු, දුබල මෙන්ම පාප දුෂ්ටි නොවී බලවත්ව සිටීම හා ලග්නභාවයේ පාප ග‍්‍රහයන්ගෙන් පාප පීඩිත නොවීම යන කාරණයි. ඇත්තටම රැකියාව කියන්නේ අපේ ජීවන වෘත්තිය. කෙනෙකුගේ ජීවන වෘත්තිය තීරණය වෙන්න මම ඉහත කියපූ 10 වැන්න නැතිනම් රැකියා ස්ථානය හෙවත් කර්මස්ථනය පමණක්ම බලවත් වෙලා මදි. ඉහත දැක්වූ ආකාරයට හඳහනේ 5 හා 9 යන භාවයන් වලින් කියන්නේ කෙනෙකුගේ අධ්‍යාපන මට්ටම හා උසස් අධ්‍යාපනය. ඒ වගේම පෙර පින ඉතින් යම් කිසි කෙනෙකුට හොඳ උසස් රැකියාවක් ලැබෙන්න නම් ඔහුට හෝ ඇයට හොඳ අධ්‍යාපන මට්ටමක් හා පෙර පිනක් තිබිය යුතු වෙනවා.

මෙන්න මේ තත්ත්වය අපට පැහැදිලි කර ගත හැකි වන්නේ මම ඉහත කියපු 5 හා 9 යන භාවයන් වල ඇති බලවත් තත්ත්වයන් මත. ඉතින් එම භාවයන් හා භාවාධිපති ග‍්‍රහයන් සුබ නම් ඉදිරි රැකියාව පිළිබඳ අපට සුබවාදී බලාපොරොත්තු ඇති කර ගත හැකියි. එම භාවයන්වල ගුරු සිකුරු බුධ වැනි ග‍්‍රහයන් සුභව සිටින කල ඉතාමත් සුබදායක වෙනවා. පාප ග‍්‍රහයන් අසුබව සිටින කල අසුබවාදී ප‍්‍රතිඵල උදා වෙනවා. යම් පුද්ගලයෙකුට හොඳ රැකියාවක් ලබා ගන්න නම් යහපත් ශරීර සෞඛ්‍යක්, ධනය රඳවා තබා ගැනීමේ හැකියාවක් වගේම හොඳ අධ්‍යාපනයක් හා බුද්ධිමත් බවක් තිබිය යුතු වෙනවා. ඉහත කාරණා තුළින් මා පැහැදිලි කළේ එම කාරණාවයි. ග‍්‍රහයින් 12 දෙනා අතරින් ග‍්‍රහයින් 9යි අපට ජ්‍යොතිෂයේදි ප‍්‍රධාන වෙන්නේ. ඒ අතරින් රාහු කේතු ඡායා ග‍්‍රහයින් නිසා ඉතිරි ග‍්‍රහයින් 7 දෙනාට එක් එක් ප‍්‍රධාන විෂයන් සඳහා කාරක අයිතීන් හිමිව තිබෙනවා. එහිදී රවි ග‍්‍රහයා රැකියා කාරක ග‍්‍රහයා ලෙස හඳුන්වනවා. ඒ වාගේම සිකුරු විවාහ කාරක මෙන්ම ගුරු පුත‍්‍ර කාරක ලෙස හැඳින්වෙයි. ගුරු හෙවත් බ‍්‍රහස්පති සුබ පිහිටීම මෙන්ම ගුරුගේ දෘෂ්ටිය උසස් ඉහළ රැකියාවක් ලබා ගැනීම සඳහා බෙහෙවින් වැදගත් වෙනවා. ආලෝක ග‍්‍රහයින් වන රවි සඳුගේ බලපෑම රැකියාව සඳහා ඉතාමත් අවශ්‍යයි. රැකියාව යන කාරණයේදී රවි සඳු විශේෂ කාර්ය භාරයක් ඉටු කරයි.

නවාංශක කේන්ද්‍රය රැකියාව සොයා බැලීම සඳහා යොදාගත යුතු අනිවාර්යෙන්ම නවාංශක කේන්ද්‍රයේ 10 වැන්න හා 10 වැන්න අධිපති මෙන්ම රවිගේ පිහිටීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. මීට අමතරව ලග්නයෙන් 10 වැන්නාධිපති උත්පත්තියේදී ගමන් ගත් නැකත, රවි ගමන් ගත් නැකත, යන කාරණා මෙන්ම කේන්ද්‍රයේ 22 වන දෙර්කානාධිපති හා 64 වන නවාංශකාධිපති පිළිබඳවත් අප අවධානය යොමු කළ යුතු වෙනවා.

කේන්ද්‍රයේ 10 වන භාවයේ හෝ 10 වැන්නාධිපති 22 වන දෙර්කානාධිපති හා 64 වන නවාංශකාධිපති වීම රැකියාවට බලපාන්නේ මෙහෙමයි. හඳහනක 22 වන දෙර්කාණාධිපති හා 64 වන නවාංශකාධිපති කියන්නේ එම කේන්ද්‍රයට අසුබම ග‍්‍රහයා වෙනවා. ඉතින් ඒ අසුබ ග‍්‍රහයා මේ රැකියා ස්ථාන තුළට සම්බන්ධ වීම මත රැකියාව පිළිබඳ යම් යම් ප‍්‍රශ්න හා ගැටලූ උදා වීමේ අවදානමක් තිබෙනවා තමයි. ලග්න අනුවත් රැකියාවේ වෙනස්කම් ඇතිවෙනවා. එක් එක් ලග්න අනුව රැකියාවේ විවිධත්වයන් අපට හඳුනාගත හැකි වෙනවා.

රැකියාව සඳහා ග‍්‍රහයන්ගේ බලවත් වීම ගුරු වෘත්තිය සඳහා බුධගේ බලපෑම ප‍්‍රමුඛ වන අතර ගණිත හා ඉංජිනේරු වෘත්ති සඳහා කුජ ග‍්‍රහයාගේ හා බුධගේ බලයද එක් විය යුතුය. විනිසුරු හෝ නීතිඥ තනතුරු සඳහා නම් බුධ හා ගුරු යන ග‍්‍රහයන් දෙදෙනාම බලවත් වී 10 වැන්නට එම ග‍්‍රහයන්ගේ දෘෂ්ඨී විය යුතුය. රවි / බුධ / කුජ හා සෙනසුරු ග‍්‍රහයන්ගේ දායකත්වයෙන් වෛද්‍ය වෘත්තියට යොමු විය හැකිය. රාජ්‍ය අංශයේ ඉහළ වෘත්තීන් සඳහා රවිගේ බලපෑම අත්‍යවශ්‍ය වෙයි.

විදේශීය රැකියා කෙරෙහි ග‍්‍රහ බලපෑම හඳහනේ 10 වැන්න චර රාශියකට යෙදී තිබීමත් රාහු හෝ සඳු චර රාශිගතව සිටීමත් රාහු බලවත්ව 11 වැන්නේත් ගුරු වැනි ග‍්‍රහයන් 12 වැන්නේ සිටීමත් විදෙස් රැකියා සඳහා සුබදායක පිහිටීම් වෙයි.

හඳහනක පුද්ගලයෙකුගේ රැකියාව පිළිබඳ නිවැරදිව විවරණයක් කිරීමට සමස්ත කේන්ද්‍රයේම ග‍්‍රහ ශක්තිය පදනම් කර ගත යුතුයි. එවිට නිවැරදිවම සාර්ථක තීරණයක් ගත හැකියි.

ජ්‍යොතිෂවේදී,
බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ නො. 53/ඒ 1, විහාර මාවත,
ගම්මන්පිල, බණ්ඩාරගම.

advertistmentadvertistment
advertistmentadvertistment