උපරිම බලය යොදන්න ආරක්‍ෂක අංශ ඊයේ තීරණය කරයි

252

රාජ්‍ය දේපළ ආරක්‍ෂා කිරීම හා ජීවිත හානි වළක්වා ගැනීම සඳහා ප්‍රචණ්ඩකාරීන්ට එරෙහිව උපරිම බලය යෙදවීමට යුද හමුදාව ඇතුළු ආරක්‍ෂාක අංශ තීරණය කර තිබේ. මෙහිදී උදාවිය හැකි පසු ආදීනව සම්බන්ධයෙන් ප්‍රචණ්ඩත්වය වපුරන ප්‍රචණ්ඩකාරීන් විසින්ම වගකීම දරාගත යුතු බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

ගෙවීගිය පැය 72 ක කාලය තුළ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් සොයන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාතිවරුන් සහ පොලිස්පතිවරයා දේශපාලන අධිකාරියෙන් ඉල්ලීම් කළ අතර අරගලකරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නොවී මහජන දේපළවලට හානි නොකරන තාක් පූර්ණ බලය නොයොදා අවම බලය පාවිච්චි කිරීමට තීරණය කර තිබිණි.

එසේ වුවද දෙනලද ප්‍රතිඥාවලට පටහැනිව සාමකාමී විරෝධතාකරුවන් අවිහිංසාවෙන් බැහැරව පෙරේදා (13 දා) දහවල් සිට නීතිය හා සාමය බිඳ දමමින් ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරන්නට විය.

එහිදී එල්ලවූ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් දෙදනෙකු සහ එක් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා තිබුණු අතර යුද හමුදාව සතු ස්වයංක්‍රීය ගිනි අවි දෙකක්ද ප්‍රචණ්ඩකාරීන් විසින් පැහැර ගනු ලැබීය.

මෙම සියලු සිදුවීම් අනුව ප්‍රචණ්ඩකාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්තාවේ බලතල අනුව රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා උපරිම බලය යෙදවීමට යුද හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ සහ පොලිසිය තීරණය කර ඇත.

සමන් ගමගේ,චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment