උප්පැන්නෙ නැතත් අයිඩෙන්ටිය ගන්න පුළුවන් – පු. ලි. දෙ. කොමසාරිස් ජනරාල්

309

උප්පැන්නයක් නැතත් ජාතික හැඳුනුම්පත සකස් කරගැනීමේ හැකියාව පවතින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

හැඳුනුම්පත නොමැතිවීම නිසා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 318 කගේ ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, එම පිරිසට හැඳුනුම්පත ලබාගැනීමට නොහැකිවී ඇත්තේ කුමක් නිසාද යන්න සොයා බැලිය යුතු බවත් ගුණතිලක මහතා පැවැසීය.

ඇතැම් විට උප්පැන්න සහතික නොමැතිවීම සහ තැපැල් හැඳුනුම්පතින් විදුහල්පතිවරයාගේ එකඟතාව ඇතුළු විශේෂ අවස්ථා සැලකිල්ලට ගෙන මෙම පිරිස විභාගයට පෙනී සිටින්නට ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා කීය.

කෙසේ වෙතත් මේ වනවිට වයස අවුරුදු 15 ක් වන සෑම පුද්ගලයකුම හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කළයුතු බවත් වයස 15 ඉක්මයන තෙක් හැඳුනුම්පත් සකස් කර නොගන්නා අයට රුපියල් 2500 ක දඩයක් සමඟ හැඳුනුම්පත සකස් කරන බවත් ගුණතිලක මහතා කීය. යම් අයෙකුට උප්පැන්න සහතිකය නොමැති නම් ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හැඳුනුම්පත් අංශය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වැනි ස්ථානවලට ගොස් උපදෙස් ලබාගෙන හැඳුනුම්පත සකස් කරගත හැකි බවද එහිදී අනුමාන වයස් සහතිකයක් ලබාගෙන හැඳුනුම්පත සකස් කරගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment