උපුල් නුවන් විදහා ඔබ සිනා සුණා…. මිල්ටන් නැතිවී අදට වසර විසිපහයි!

736

විරහවත්, ප්‍රේමයත්, ශෘංගාරයත් තේමා කරගනිමින් අති මනෝරම්‍ය වූ හඬ පෞරුෂයකින් දශක තුනක පමණ කාලයක් සජීවී ගී හඬින් තරුණ හදවත්වලට කතා කළ සදාදරණීය ගායන ශිල්පි මිල්ටන් මල්ලවාරච්චි ඔබ අප අතරින් සමුගෙන මාර්තු 10 වැනි දිනට විසිපස් වසරක් සපිරේ.

මිල්ටන් මල්ලවාරච්චි ළමා වියේ සුමනසිරි නම් විය. පුංචි සුමනසිරිගේ කටේ කිරි සුවඳ යන්නත් ප්‍රථම ඔහුගේ කටහඬේ ඇති වෙනස් ආකර්ෂණීය භාවය පිළිබඳව කෝට්ටේ රජමහා විහාරය අවට ගම්මානවල ගම්වැසියන්ට ද දැනෙන්නට විය.

පුංචි සුමනසිරිගේ මිහිරි කටහඬ එවකට කෝට්ටේ රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ ඇඹුල්දෙනියේ පක්‍ද්ක්‍දාතිස්ස නාහිමිපාණන්ට ද සැලවිණ. එහි ප්‍රතිඵලයක් ලෙස කෝට්ටේ රජමහා විහාරයේ උපසම්පදා උත්සවයකදී දහස් සංඛ්‍යාත මහ සඟරුවන හා විශාල ජනතාවක් ඉදිරියේදී සජීවීව ඔහුගේ ඒ ළයාන්විත කටහඬ මුල්වරට ශබ්දවාහිනි යන්ත්‍රයකින් නිකුත් විණ.

ඉතා රසාලිප්තව ඔහුගේ හඬින් ‘දොරකඩ අස්නේ’ දෝංකාරය ඈත ගම් දනව් දක්වා සම්ප්‍රේෂණය විය. දහස් සංඛ්‍යාත ජනතාවකගේ සිත් සනහාලමින් එදා දොරකඩ අස්න කියැවීමේ අනුහසින්ම පසු කලෙක ඔහුගේ හඬින් ගැයුණු සෑම ගීතයක්ම සදාකාලිකවම යෞවනය තුළ බැඳී පවතින්නට තරම් වාසනාවන්ත හඬක් බවට පත්විය.

පන්නිපිටියෙ ධර්මපාලෙ උගන්වපු දයා බී. සිල්වා ගුරුවරයාගේ ගෙදර තාප්පෙ උඩට වෙලා හැන්දෑවට ටින් බෙලෙක්කවලට තට්ටු බට්ටු දම දමා සිංදු කියන කොල්ලො කුරුට්ටො කිහිප දෙනෙක් සිටිනවා. ඒ හතරපස්දෙනා අතරේ මිල්ටන් මල්ලවාරච්චි නොහොත් සමුනසිරිත් සිටියේය. කට්ටිය එකතුවෙලා නොයෙල් රණසිංහ නායකයා කරලා හදාගත්තු සංගීත කණ්ඩායම ‘ලාසිලනියන්’ නම්විය. මේ ලාසිලනියන් සංගීත කණ්ඩායම සමග තමයි මිල්ටන් මල්ලවාරච්චිගේ සංගීත දිවියෙ පළමු පියවර එසවෙන්නේ.

ලාසිලනියන් සංගීත කණ්ඩායමේ නිහාල් කුමාර පතිරණ, දයා කුමාර පතිරණ තිස්ස කුමාර පතිරණ ඇතුළු කිහිපදෙනෙක් තමයි මිල්ටන් මල්ලවාරච්චිගෙ සංගීත දිවියේ මුලින්ම හමුවූ යාළුවෝ.

ගෞරි කෝපරේෂන් අධිපති පැටි්‍රක් කොරේරා මහතාගේ ආරාධනාවකට ලාසිලනියන් කණ්ඩායමට ගීත කිහිපයක් පටිගත කරන්න ආරාධනා ලැබෙනවා. ඒ අවස්ථාවේදී නිහාල් කුමාර පතිරණ ලියූ ලාසිලනියන් සංගීතවත් කළ මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන ‘දහදුක විඳලා’ ගීතය තමයි ඔහුගේ පළමු ගී පටිගත කිරීම වන්නේ. මේ ගීතය පටිගත කරනු ලබන්නේ කැලණිය සරසවි චිත්‍රාගාරයේදී. නාද ශික්ෂණය කරනු ලබන්නේ මර්වින් රුද්‍රිගු මහතායි.

දහදුක විඳලා ගීතයෙන් පසුව පැටි්‍රක් කොරේරා මහතා මිල්ටන් මල්ලවාරච්චිට ආරාධනා කරනවා තවත් ගීත හතරක් කරන්න. ඒ කාලෙ ගීත ක්‍ෂේත්‍රයම ඉන්දීය හිංදි ගී තනුවලින් ආක්‍රමණය වී තිබූ කාලයක්. සිංහල ස්වතන්ත්‍ර ගීත නිර්මාණය වුණේ ඉතා අල්ප වශයෙන්. පැටි්‍රක් කොරේරා මහතාගේ බලාපොරොත්තුව වුනෙත් වෙළෙඳ පොළේ ඉල්ලුමට අනුව හිංදි තනු කිහිපයකට මිල්ටන්ගේ හඬ. මිල්ටන් ඒ අදහසට එතරම් කැමැත්තක් දැක්වූයේ නෑ. අලුත්ම ගීත හතරක් කරන එකත් විශාල අභියෝගයක්. ඒ වනවිට ලංකාවේ අතිශය ජනප්‍රිය ගායක ගායිකාවෝ හැමෝමත් ගායනා කළේ හිංදි තනු සහිත සිංහල සිංදු.

අභියෝගය හිතේ දරාගෙන මිල්ටන් ස්වතන්ත්‍ර ගීත හතරක් හදන්න තීරණය කරනවා. මීට ලාසිලනියන් හි පතිරණ සහෝදරයෝ උදව් කරනවා . නිහාල් කුමාර පතිරණත් සමග කරුණාරත්න අබේසේකර හමුවන්න ලංකා ගුවන් විදුලි සේවයට යනවා. දින කිහිපයකින් කරුණාරත්න අබේසේකර, මිල්ටන් මල්ලවාරච්චිට ගීත හතරක් ලියා දෙනවා.

කරුණාරත්න අබේසේකරයන්ගේ ඔවදන් මත මිල්ටන්, මොහොමඩ් සාලි මාස්ටර් හමුවෙනවා. ඒ කාලෙ හැටියට විශාල මුදලක් වූ රුපියල් හාරසියයක මුදලක් තනු නිර්මාණ සඳහා පමණක් සාලි මාස්ටර් මිල්ටන් මල්ලවාරච්චිගෙන් අය කරනවා.

ලාසිලනියන් සංගීත කණ්ඩායමේ පූර්ණ දායකත්වයෙන් හා තිඹිරිගස්සාය සිලෝන් ස්ටුඩියෝ හි අධිපති නිමල් වීරක්කොඩි මහතාගේ ද විශේෂ අනුග්‍රහය මත මිල්ටන් මල්ලවාරච්චි ඔහුගේ පළමු ගීත හතර පටිගත කරනවා.

පසුව මේ ගීත හතර රැගෙන ඔහු කරුණාරත්න අබේසේකරයන් හමුවෙනවා. කරුණාරත්න අබේසේකර, මේ ගීත කිහිපයට සවන්දී ගුවන්විදුලියේ හිටපු තම මිතුරන්ට කියනවා ‘මට ඕන කරන මෑන් දැන් මට හම්බවුණා’ යැයි මිල්ටන්ගේ කටහඬ ගැන නව මතයක් පළ කරනවා.

උපුල් නුවන් විදහා ඔබ සිනා සුණා.... මිල්ටන් නැතිවී අදට වසර විසිපහයි!

ගුවන් විදුලි සේවයේ එවකට විකාශය වූ රැල්ලයි වෙරළයි නැමති රාත්‍රි ධීවර වැඩසටහනින් මුල්වරට මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතයක් ප්‍රචාරය වෙනවා.

ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ
තොටියෙකි මා මෙහි සීතල වතුරේ…//

එවකට ශ්‍රී ලංකාවේ පැවැති එකම ගුවන්විදුලි සන්නිවේදන මාධ්‍ය තුළින් මිල්ටන් මල්ලවාරච්චිගේ ‘ඔරුවක පාවෙන’ ගීතය ලක්‍ෂ සංඛයාත ජනතාවක් රසවිඳිනවා. ඒ ගීතය රසවිඳි හැමෝම මේ නවක ගායන ශිල්පියා ගැන සොයා බලනවා.

පසුව වරින්වර ඔහුගේ මේ අලුත්ම ගීත හතර ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙනවා.

“රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ…..”
“සංසාරෙ සෙවණැල්ල ලෙස ආ පතාලා”

ගීතයත් ගුවන්විදුලි ශ්‍රාවක ජනතාව ආදරයෙන් වැළඳ ගන්නවා.

මංගලේ නෙත් මංගලේ – හංස ධේනුව පෙම් විලේ

මේ ගීත හතර ලංකාවේ අතිශය ජනප්‍රිය ගීත බවට පත්වෙන්නේ ක්‍ෂේත්‍රයේ හිනිපෙත්තෙහි සිටි ගායකයන් ද අබිබවා.

ගීත හතර ගුවන්විදුලි සේවයෙන් ප්‍රචාරය වූවාට මිල්ටන්ගේ ආර්ථිකයට එයින් ශක්තියක් ලැබුණේ නෑ. මේ නිසා ඔහු මේ ගීත හතර රැගෙන පැට්‍රික් කොරේරා මහතා හමුවෙනවා. ඔහු ඒ වෙනුවෙන් මිල්ටන්ට සැලකිය යුතු මුදලක් ගෙවනවා.

පැට්‍රික් කොරේරා මහතා මේ ගීත තැටිගත කිරීම සඳහා ඉන්දියාවට රැගෙන යනවා. එක තැටියකට ගීත දෙක බැගින් පටිගත කර තැටි දහස් ගණනක් වෙළෙඳපොළට නිකුත් කරනවා. මිල්ටන් මල්ලවාරච්චිගේ මේ ගීත හතර සහිත තැටි යුගල උණු කැවුම් ලෙස විකිණෙනවා. පසුව පිලිප්ස් ලේබලය යටතේ ගීත හතරම නැවත නිෂ්පාදනය වෙනවා.

එදා සිට ඔහු ගැයූ සෑම ගීතයක්ම අතිශය ජනප්‍රිය වීම අති විරල කාරණයක්. ඒ තරමට ඔහු ගැයු සෑම ගීතයක්ම රසික ජනතාව ආදරයෙන් වැළඳ ගත්තා.

මොහොමඩ් සාලි, රොක්සාමි, පැට්‍රික් දෙනිපිටිය, වික්ටර් රත්නායක, සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, සරත් ද අල්විස්, ක්ලැරන්ස් විජේවර්ධන ඇතුළු සංගීත අධ්‍යක්‍ෂවරුන් විශාල සංඛ්‍යාවකගේ ද කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, උපාලි ධනවලවිතාන, කුලරත්න ආරියවංශ, බන්ධුල නානායක්කාරවසම්, ප්‍රනීත් අබේසුන්දර, ලූෂන් බුලත්සිංහල, ආනන්ද පද්මසිරි ඇතුළු ප්‍රවීණ ගීත රචකයන් විශාල ප්‍රමාණයකගේ නිර්මාණ ද මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත ජනප්‍රිය වීමට හේතු වුණා. එතෙක් මෙතෙක් ඔහු ගායනා කර ඇති ගීත ප්‍රමාණය දහසකට ආසන්නයි. චිත්‍රපට 180 කට පමණ ගීත ගායනා කළ මිල්ටන් ගැයූ සෑම ගීතයක්ම ස්වතන්ත්‍ර නිර්මාණ වීමත්, ඔහු ගැයූ සෑම ගීතයක්ම අතිශය ජනප්‍රිය ගීත බවට පත්වීමත් විශ්මය දනවන කරුණක්.

1973 දී ස්වර්ණා පනංගල හා විවාහා වූ මිල්ටන් මල්ලවාරච්චි පුතුන් දෙදෙනකුගේ හා දියණියන් දෙදෙනකුගේ සෙනෙහබර පියෙකු බවට පත් වුණා.

1998 මාර්තු 10 වන දින මිල්ටන් මල්ලවාරච්චි නම් මේ අග්‍රගන්‍ය ගායන ශිල්පියා සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේම දෙනෙත් වලට කඳුළක් එක්කර සදහටම දෙනෙත් පියා ගත්තා.

ඔහුගේ ඒ ආදරණීය කටහඬ අනාගතයට ගෙන යන්න ඔහුගේ දෙටු පුත් රනිල් මල්ලවාරච්චිටත් කනිටු පුත් තාරක මල්ලවාරච්චිටත්, රනිල් මල්ලවාරච්චිගේ පුත් පවන් මල්ලවාරච්චිටත් හැකි වේවායි අප ද ප්‍රාර්ථනා කරමු. මිල්ටන් මල්ලවාරච්චි හෘදයාණෙනි, ඔබ ප්‍රාර්ථනා කළ අයුරින්ම මෛත්‍රී බුදුන් පාමුල නිවන් දකින්නට හැකිවේවා.

සටහන – ධම්මික සල්වතුර

උපුල් නුවන් විදහා ඔබ සිනා සුණා.... මිල්ටන් නැතිවී අදට වසර විසිපහයි!

advertistmentadvertistment
advertistmentadvertistment