‘උඹේ පිහිටට ඉන්න ගැලවුම්කාරයා මමයි…’ ශාන්තිකර්මයට ආ කපුවා දෙදරු මව දූෂණය කරලා… සැකකාර කපුවා කූරු ගනින්න යවයි

570

මිනුවන්ගොඩ යටියන ප‍්‍රදේශයේ නිවසක හතර කොනේ දෙහි වල දමා ආරක්ෂා කර එම නිවසේ උඩු මහලේ පිහිටි බුදුගෙය තුළදී ආරූඪ වී ශාන්ති කර්මයක් සිදු කරමින් අකමැති වුවහොත් කාලි මෑණියන්ගේ දේව ශාපයට ලක් වන බවට පවසා බියකර එම ගෙහිමි කාන්තාව දූෂණයට ලක්කළ දේවාලයක් පවත්වාගෙන යන කපුවෙකු ලබන 12 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් නිරෝෂිකා ලියනආරච්චි මෙනවිය ඉකුත් 08 වැනිදා නියම කළාය.

 මිනුවන්ගොඩ කලවාන ප‍්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් දේවාරූඪයෙන් රෝග සුව කරන බව කියන 37 හැවිරිදි සැකකාර කපුවෙකු මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරිණි. මෙහි පැමිණිලිකාරිය දෙදරු මවකි.

 පැමිණිලිකාරියගේ අවුරුදු එකහමාරක් වයසැති දරුවෙකු උපන්දා සිට යම් රෝගී තත්ත්වයකින් පෙලෙන හෙයින් දන්නා හදුනන අයෙකු මාර්ගයෙන් දේවාරූඪයෙන් රෝග සුව කරනවා යැයි කියන මිනුවන්ගොඩ කලවාන ප‍්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන සැකකාර කපුවාව පැමිණිලිකාරිය තම පියා සමග එම දේවාලයට ගොස් හමුවී තිබේ. නිවස ආරක්ෂා කළ යුතු බවටත් දරුවාට පඬුරක් ගැට ගැසිය යුතු බවටත් කපුවා විසින් පැමිණිලිකාරියට පවසා පැමිණිලිකාරියගෙන් රුපියල් දස දහසක් ලබාගෙන තිබේ.

 සැකකාර කපුවා තම බිරිඳ සමග පැමිණිලිකාරියගේ නිවසට ගොස් කිහිප අවස්ථාවකදීම ශාන්ති කර්මයන් සිදුකර ඇති බවත් එක් දිනක් පැමිණිලිකාරිය ගේ සැමියා නිවසේ නොමැති අවස්ථාවක සැකකරු පමණක් පැමිණිලිකාරියගේ නිවසට ගොස් ශාන්ති කර්මයක් කර එම නිවසේ උඩු මහලේ පිහිටි බුදුගෙය අසලට ගොස් ආරූඩ වී පැමිණිලිකාරියව ඒඅසලට ගෙන්වා ‘‘මේ පූජකයා තමයි උඹේ පිහිටට ඉන්න ගැලවුම්කාරයා. මේ පූජකයාට තව බිරිඳක් හිටියට කමක් නෑ. පූජකතුමා උඹේ ශරීරයට කැමතියි කියා කාලි මෑණියන් පවසන බවත් අකමැති වුවහොත් කාලි මෑණියන්ගේ දේව ශාපයට හසුවෙනවා…’’යැයි පවසා පැමිණිලිකාරියව බිය ගන්වා ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පවසා සිටියේය.

 ‘‘උඹේ පිහිටට ඉන්න ගැලවුම්කාරයා මම…’’ යැයි පවසා සැකකරු පැමිණිලිකාරියව එම නිවසේ උඩු මහලේ පිහිටි නාන කාමරයට රැගෙන ගොස් පැමිණිලිකාරියගේ දැඩි අකමැත්ත මත ඇයව දූෂණයට ලක්කළ බවට පැමිණිලි කර ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ කීය.

 මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන්වරුන් වන ජේ.ඒ.පේ‍්‍රමසිරි(55511* සහ සුදත් නන්දසිරි (38098* යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ. පැමිණිලිකාරියව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පහ දිස්ත‍්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවට අධිකරණයේදී සඳහන් විය.


මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment