උඹ එක වෙලාවක පත්තු වෙනවා බෝම්බයක් වගේ ඒක කාටවත් නතර කරන්න බෑ – නිහාල් නෙල්සන් සුනෙත්ට කියයි

239

මට කිසිම චැනල් එකකින් සහයෝගයක් නෑ….
ජෝතිපාල මහත්තයාව අනුකරණය කරන්නේ නැහැ….

ඒ අමරණීය හඬට කවදා කාටවත් ලංවිය නොහැක. ඒ හඬ අමරණීය වන්නේ ඔහුටම ආවේණික වූ හඬක් අපූර්වත්යක් ඒ හඬ තුළ ගැබ්වී තිබීමෙන්. ශ්‍රී ලාංකීය ගීත කලාවේ අසමසම ගායකයා හැටියට ඔහු මේ රටේ ජනහදවත් තුළ කිරුළු දැරුවේ එදා මෙදා පමණක් නොවේ අදටත් මතුවටත් අනාගතයටත් ඒ අසමසම බව රැක ගන්නට තම ජීවිත කාලයේදීම වාසනාවන්ත විය.

ජෝතිපාල නමැති ආදරණීය ගායකයාට යුක්තිය ඉෂ්ට කරන්නට ඒ ගායකයාගේ හඬට අපට ලං වෙන්නට බැරි වුණත් ඒ හඬට කිසියම් ලෙසකින් හෝ ආදරය කරන ආදරය කළ හැකි කිසියම් ලෙසකින් හෝ සාධාරණයක් කළ හැකි හඬක් අපි අභිමුව අද තිබේ. ඒ හඬ ඔහුම පවසන පරිදි ‘මට ඔහුම වෙන්න බැහැ, ඔහු වෙන්නත් බැහැ’ ඒ ආදරණීය හඬට මටත් පුළුවන් සාධාරණයක් එතුමා වෙනුවෙන් කරන්න. ඒ වෙනුවෙන් මාගේ ගීත කලාව මම කැප කරනවා. ඔහු ජනතාව ගේ ගායකයෙක්. ඔහු අපේ ගායකයෙක්. රටේ ගායකයෙක්. ඔහු ආදරය කළේ මාතෘ භූමියට. ඔහු ආදරය කළේ මේ රටේ ජනතාවට. ඔහු ගීත ගැයුවේ මේ රටේ ඉන්න නිර්ධන පන්තියේ සිට සියලු සමාජ තලවල සමාජ ප්‍රවාහයන්ට. ඉතිං ඔහු නැවතූ තැනින් ගමන ඇරඹීමට මට අවසර දෙන්න. මේ ආයාචනය කරන්නේ සුනෙත් උදයරත්නය. එළැඹෙන 7 වැනිදා ජෝතිමත් ගීත රාත්‍රිය ‘හදවත රත්තරන්’ රාත්‍රි 7.00 ට මහරගම යූත් සෙන්ටර්හිදී පැවැත්වෙනවා. සුනෙත් සමග හදවත රත්තරන්. නමුත් සුනෙත් හැම විටම පවසන්නේ ජෝතිපාලයන්ට මට සමාන වෙන්න බැරි බවයි. නමුත් ජෝතිපාලයන්ගේ හඬට යම්කිසි සාධාරණයක් ඉෂ්ට කිරීමටයි හදවත රත්තරන් ප්‍රසංගය පවත්වන්නේ. සුනෙත් උදයරත්න මේ ගැන කියූ කතාව පහතින් පෙළ ගැසේ.

උඹ එක වෙලාවක පත්තු වෙනවා බෝම්බයක් වගේ ඒක කාටවත් නතර කරන්න බෑ - නිහාල් නෙල්සන් සුනෙත්ට කියයි

● සුනෙත් උදයරත්න ගීත එකතුවක් එළිදක්වන්න සූදානම් වෙනවා නේද?

මම මේ ප්‍රසංගය පවත්වන්නේ ජනවාරි 07 වැනිදා. මගේම ගීත එකතුවක් තමයි එළිදක්වන්න සූදානම් වෙන්නේ. මෙම ගීතවලින් රැසකම සංගීතය සහ පද රචනය චමිඳු එස්. බණ්ඩාර. මේ ගීත එකතුවේ ගීතයක් කළා ජෝතිපාල මහත්මයාට උපහාර වශයෙන් ‘හදවත රත්තරන්’ කියලා. ඉතිං අපි මේ ප්‍රසංගයට නම යොදල තියෙන්නේ ‘හදවත රත්තරන්’ කියලා. මම මිනිස්සු අතරට ගියේ ජෝතිපාල මහත්මයාගේ ගීතවලින්. ඒක හින්දයි මම මේ ප්‍රසංගයට ‘හදවත රත්තරන්’ කියලා නම යෙදුවේ.

● ‘හදවත රත්තරන්’ ප්‍රසංගය ගැන කතා කළොත්?

මේ ප්‍රසංගයට සංගීතයෙන් දායක වෙන්නේ ‘දෙරණ ඩී්‍රම්ස්ටාර්’ සංගීත වැඩසටහන සඳහා සහභාගි වෙන සංගීත කණ්ඩායම. මෙම ප්‍රසංගයට මගේ ස්වතන්ත්‍ර නිර්මාණ පහළොවක් විතර ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජෝතිපාල මහත්මයාගේ ගීත කිහිපයක් අවසර ඇතිව ගායනා කරන්නත් බලාපොරොත්තු වෙනවා.

● සුනෙත්ට ප්‍රසංගවලට තිබෙන ආරාධනා එහෙම කොහොමද?

ඉල්ලීම් නම් ඉතාම හොඳ මට්ටමකට තිබෙනවා. හැබැයි මම හැම ප්‍රසංගයකටම සහභාගි වෙන්නේ නැහැ. තෝරා බේරාගෙන තමයි ප්‍රසංගවලට සහභාගි වෙන්නේ.

● ‘හදවත රත්තරන්’ ප්‍රසංගයෙන් පසුව ඔබ ජෝතිපාල මහත්මයාගේ ගීත ගායනා කරන්නේ නැතිද?

මට දැන් ගොඩක් දෙනෙක් කියන්නේ ඔයා ජෝතිපාල මහත්මයා නවත්වපු තැනින් පටන් ගන්න කියලා. අද කාලෙට ගැළපෙන ගීත ගායනා කරන්නත් කියලා ඉල්ලීමක් තියෙනවා. ‘හදවත රත්තරන්’ ප්‍රසංගය තමයි සුනෙත් කියන බ්‍රෑන්ඩ් එක එළියට එන්නේ. මෙච්චර කල් ගොඩක් දෙනෙක් මාව දැනගෙන හිටියේ ජෝතිගේ සින්දු කියන සුනෙත් කියලා. ඉතිං මට ඕනෑ වුණේ එතැනින් එහාට ගිහිල්ලා සුනෙත් කියලා මගේ නම ජනගත කරන්න.

● ඒකද මේ ප්‍රසංගයට ‘හදවත රත්තරන්’ කියලා නම යෙදුවේ?

ඔව් ඇත්තටම මම ගායනා කරන ශෛලියේ ගීත දැන් ගායනා කරනවා අඩුයි. ඒ කාලේ මිල්ටන් මල්ලවආරච්චි, ජෝතිපාල මහත්මයා, මිල්ටන් පෙරේරා, නුවන් ගුණවර්ධන, නිහාල් නෙල්සන් වගේ හදවතට දැනෙන ගීත ගායනා කරන පිරිසක් හිටියා. දැන් මේ පිරිස අප අතර නැහැ. මේ ශෛලියේ ගීත ගායනා කරන පිරිස හරි අඩුයි ඔක්කොම අලුත් රැල්ලට ගිහිල්ලා තියෙන්නේ. ඉතිං මට ඕනෑ ඒ සුන්දර රසය නැවත රසිකයන්ට ලබා දෙන්නයි.

● මේ ප්‍රසංගය රට වටා ගෙනියන්න සූදානමක් තියෙනවාද?

රට වටේ නෙමෙයි ලෝකය වටා ගෙනියන්නත් අදහසක් තියෙනවා. හරි අමාරු වැඩක්. දැනටත් විදෙස් රටවලින් ඉල්ලීම් කිහිපයක් ඇවිත් තිබෙන්නේ මුලින්ම ලංකාවේ මේ ප්‍රසංගය පවත්වලා ඉන්න ඕනෑ. මේ ප්‍රසංගයේ සම්පූර්ණ බර කරට අරගෙන කරන්නේ චමිඳු මල්ලි. ඇත්තටම ඔහුත් කලාවට හරිම ආදරෙයි.

උඹ එක වෙලාවක පත්තු වෙනවා බෝම්බයක් වගේ ඒක කාටවත් නතර කරන්න බෑ - නිහාල් නෙල්සන් සුනෙත්ට කියයි

● අද කාලේ මේ වගේ ප්‍රසංගක් කරනකොට ආපු අභියෝග එහෙම මොනවද?

‘හදවත රත්තරන්’ ප්‍රසංගය ජනතාව අතරට ගෙනියන එක තමයි මට තියෙන ලොකුම අභියෝගය. මට කිසිම චැනල් එකකින් සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. මම නාලිකා දෙකක වැඩසටහන් දෙකකට විතරයි සහභාගි වෙලා තියෙන්නේ. ඒකටත් ලොකු සහයෝගයක් ඕනෑ නැතිනම් අවස්ථාවක් නැහැ.

● ජෝතිපාල මහත්මයාගේ ගීත කියන හින්දම ඔබට පොඩි කැපිල්ලක් තියෙනවාද?

ඔව්. ඒ කතාව හරි. මම ජෝතිපාල මහත්මයාගේ ගීත කියන හින්දම මට පොඩි කැපිල්ලක් තියෙනවා. මොකද මේ හඬ ලංකාව වටේ ගිහිල්ලා ලෝකය අතරට ගියොත් ගොඩක් අයට දැනෙනවා. ඒ වගේම වදිනවා. ඉස්සර ජෝතිපාල මහත්මයාට කිව්වෙත් ඒ දේම තමයි. මේ කාලේ මටත් තියෙන්නේ ඒ වගේ ප්‍රශ්නයක් තමයි. ගොඩක්ම ක්‍ෂේත්‍රයේ පිරිස් මා ගැන දැනගෙන හිටියත් අතහිත දෙන්න කැමති නෑ.

● නිහාල් නෙල්සන් සමුගන්න දවස් දෙකකට කලින් ඔබට කතා කළා නේද?

ඔව්. නිහාල් නෙල්සන් මහත්මයා නැතිවෙන්න දවස් දෙකකට කලින් මට දුරකථනයෙන් කතා කරලා කිව්වා ‘මල්ලී මේ ක්‍ෂේත්‍රයේ ඉන්න කට්ටිය හැමෝම උඹව දන්නවා. හැබැයි කතා කරන්නවත් කැමති නෑ’ කියලා. ඕක තමයි ලංකාවේ හැටි. හැබැයි ‘උඹ එක වෙලාවක පත්තුවෙනවා බෝම්බයක් වගේ ඒක කාටවත් නතර කරන්න බෑ’ කියලා තමයි නැති වෙන්න දවස් දෙකකට කලින් කිව්වේ. ඒ වගේ හොඳ නිහතමානී කලාකරුවෝ ලංකාවේ ඉන්නවා හැබැයි දෙයක් කරන්න පුළුවන් කට්ටිය කරලා දෙන්නේ නෑ.

● ජෝතිපාල මහත්මයාගේ ගීත ගායනා කරනවා කියලා ප්‍රශ්න මතුවන අවස්ථා එහෙමත් තියෙනවාද?

මීට ගොඩක් ඉස්සර මම ජෝතිපාල මහත්මයාගේ දුවව සම්බන්ධ කර ගන්න ගොඩක් උත්සාහ කළා. නමුත් මගේ දුරකථනයට ආවේ නෑ. මට මුහුණු පොතේ එහෙම ගොඩක් චෝදනා එහෙම කරලා තිබුණා. මම මගේ අලුත්ම ප්‍රසංගයට නම යොදලා තියෙන්නේ ‘හදවත රත්තරන්’ කියලා. ඒ වගේම ජෝතිමත් ගීත රාවය කියලා. මේ ප්‍රසංගයට ජෝතිපාල මහත්මයාගේ නමත් කිසිසේත්ම ගෑවිලා නෑ. ජෝතිමත් කියන්නේ ආශ්චර්ය කියන එකයි. ඒක සිංහල ශබ්දකෝෂයේ තිබෙන වචනයක්. මම මේ ප්‍රසංගය කරනවා කියලා දැනගෙන ඒක සංවිධානය කරන චමිඳුට ජෝතිපාල මහත්මයාගේ දුව චෝදනා කරලා එහෙමත් තිබුණා. මම ඕවා එච්චර හිතන්නේ නෑ. මම මේ ප්‍රසංගය කරන්නේ ජෝතිපාල මහත්මයා නවත්වපු තැනින් පටන් ගන්න. ඇත්තම කිව්වොත් මම හරි කලකිරීමෙන් ඉන්නේ. ඉදිරියේදී මම මගේම නිර්මාණවලින් රසිකයෝ අතරට යන්න තමයි හදන්නේ.

● ඔබ ජෝතිපාල මහත්මයාව අනුකරණය කරනවා?

මම ජෝතිපාල මහත්මයාව අනුකරණය කරන්නේ නැහැ. හඬෙන් අනුකරණය කරන්නෙත් නැහැ. එක දෙයයි කළේ. මම රැවුල වවලා හිටියේ. මගේ රසිකයෙක් මාව හොයාගෙනම ඇවිත් මගෙන් ඉල්ලීමක් කළා රැවුල කපන්න කියලා. මම විදෙස්ගත වෙලා ඉන්න කාලෙවත් රැවුල කපන්න කැමති වුණේ නෑ. රසිකයෙක් ඉල්ලීමක් කළොත් මට බැහැ කියන්න බැහැනේ. අන්තිමේ ඒ රසිකයාම මාව සැලුන් එකකට එක්ක ගෙන ගිහිල්ලා රැවුල කැපුවා ඒක තමයි මම කරපු එකම දෙය. මගේ කොණ්ඩෙවත් මම ජෝතිපාල මහත්මයාගේ විදිහට හදලා නෑ. ඒක අනුකරණයක් නෙමෙයි. මම හඬවත් කවදාවත් අනුකරණය කරලා නෑ. ඒක තමයි මට ගොඩක් දෙනෙක් කැපිලි දාන්නෙත්. මේ හඬ අනුකරණයක් නෙමෙයි කියලා දන්න අය මට උඩට එන්න දෙන්නේ නැහැ.

● ඇත්තටම මේ ප්‍රසංගයේ අරමුණ මොකක්ද?

තවම සුනෙත් කියන චරිතය උඩට ඇවිත් නෑ. මට ඕනෑ සුනෙත් කියන චරිතය උඩට ගන්න. ඒක තමයි ප්‍රධානම අරමුණ. මම මෙතැනින් උඩට අඩියක් තියන්නම ඕනෑ නැති නම් මම හැමදාම එකම තැන ඉන්නවා. නැතිනම් මම ජෝතිපාල මහත්මයාගේ සින්දු කියන කොල්ලා හරි සුනෙත් හරි කියල තමයි මිනිස්සු අතරට යන්නේ. මට කියලා අනන්‍යතාවයක් හැදෙන්නේ නැහැ. ඒක හදාගන්න දරන උත්සාහයේ පළමුවැනි මෞලි මංගල්‍යය තමයි ජෝතිමත් ගීත රාත්‍රිය ‘හදවත රත්තරන්’ ප්‍රසංගය එළැඹෙන 07 වැනිදා මහරගම යූත් සෙන්ටර් එකේ පැවැත්වෙන්නේ.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment