උල්කාපාත විසඳුම

1476

ලංකා ඉතිහාසයේ නොහොත් අපට මතක ඇති ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය අපි අත්විඳිමින් සිටිමු. දැනට තිබෙන ප්‍රශ්නය විසඳීමට Option දෙකක් තිබේ. ඉන් පළමුවන විසඳුම වන්නේ ක්ෂණිකව කොහේ හෝ තැනකින් ඩොලර් බිලියන 10ක් පමණ අපේ ආර්ථිකයට පොම්ප කිරීමය. මෙය ද දිගු කාලීන ණය මුදලක් විය යුතුය. එවැනි මුදලක් අපේ ආර්ථිකයට පොම්ප වූ විට ඩොලර් එක රුපියල් 210ක පමණ මට්ටමකට පහත බැසීමට ඉඩ තිබේ. මේ ඩොලර් බිලියන 10, මාසයක් ඇතුළත හොරකම් කර ගසා කා විනාශ නොකළොත් අපට දීප්තිමත් අනාගතයක් අත්පත් කරගත හැකිය. ඩොලර් ලංකාවට එන්නේ ක්‍රම තුනකට ය. ඉන් පළමුවැන්න විදේශීය ණය ය. දෙවැන්න විදේශීය ආයෝජනයන් ය. තුන්වැන්න විදේශීය ඉපැයුම් ය. මෙවැනි ලොකු මුදලක් නොලැබෙන්නේ නම් අපට දීර්ඝ කාලයක් දුක් විඳීමට සිදුවේ. එක්දහස් නවසිය විසි ගණන්වල යුරෝපයේ හටගත් මෙවැනි දරුණු ආර්ථික අර්බුදයක් නිසා යුරෝපයේ ජනතාවගෙන් හතළිස් ලක්ෂයක් ශීත කාලයේදී ආහාර ගැනීමට මුදල් නැතිව මිය ගියහ. අපේ වාසනාවට මේ රටට ඉතා කෙටි වැහි කාලයක් මිස ශීත කාලයක් නැත. එබැවින් ඉතාම දරුණු ආර්ථික අර්බුදයක් හමුවේ වුවද අපගේ මරණය පමා වෙයි. කෙසේ හෝ වේවා මෙබඳු විශාල මුදලක්, ආධාරයක්, ආයෝජනයක් හෝ ඉපයීමක් රටට නොලැබුණොත් ප්‍රශ්නේ විසඳීම භාර වන්නේ ලංකාව ළඟින් යන උල්කාපාතයකට ය. මෙවැනි විශාල උල්කාපාතයක් හදිසියේ ශ්‍රී ලංකාවට කඩා වැටුණොත් මේ රට සම්පූර්ණයෙන්ම අතුරුදන් වීමට ඉඩ තිබේ. එවිට ප්‍රශ්න සියල්ල නිමාවට පත්වන අතර යළි ප්‍රශ්න පටන් ගන්නේ මුහුද යටට ගිය ලංකාව යළි ගොඩවිත් විජය රජ්ජුරුවන්ගේ ලංකාගමනය පුනරුච්චාරණය වී මිනිස් වර්ගයා යළි මෙහි පහළ වීමෙන් පසුවය.

දැනට පවතින අර්බුදය හමුවේ පාලකයෝත් ජනතාවත් නිර්වින්දනය වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා පවසා තිබේ. එක් අතකට මෙය ඇත්ත කතාවකි. මේ රටේ ආර්ථික අර්බුදය ඇඟට දැනෙන පරිදි පටන් ගන්නේ මේ අවුරුද්දේ මාර්තු මාසයේදීය. ඒ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1800ක් ඩොලර් නැති නිසා වරායේ ගුදම්වල සිරවීමත් සමගය. ඉන්පසු ආර්ථික අර්බුදය උග්‍ර වනවිට ගෝල්ෆේස් අරගලය ආරම්භ විය. එය ඉතා කෙටි කලක් තුළ අයිස් කැටයක් දියවී යන්නාක් මෙන් දියවී ගිය අතර අද පාරවල් අයිනේ පෙන්වන කුඩා වීදි නාට්‍යයක තත්ත්වයට පත්ව ඇත. මේ තත්ත්වයට එරෙහිව කව්රුත් නැගී සිටින්නේ නැත. එසේම මේ තත්ත්වයට ප්‍රතිකර්මයක් කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරන්නේද නැත. ලංකාව ලෝකයේ හතර වටෙන්ම ණය ඉල්ලා ඇති නමුදු කිසිවෙක් හෝ සත පහක්වත් දෙන බවක් නොපෙනේ. එසේ නම් මේ අවස්ථාවේදී මේ රට ගොඩගැනීමට අවශ්‍ය ප්‍රධානම දෙය විදේශ ආයෝජන විය හැකිය. එහෙත් කලක පටන් ලංකාවට ආයෝජකයෝ නොඑති. එයට හේතුව මේ රට සහ එහි නිලධාරි පැලැන්තිය ආයෝජකයන් මරාගෙන කෑමට සූදානම් වීමය. ලංකාවේ ආයෝජනයක් කර කර්මාන්තයක් පටන් ගන්නවාට වඩා ස්විට්සර්ලන්තයේ බැංකුවක් කැඩීම පහසු බව සමාජ මාධ්‍යයක සටහන්ව තිබිණ. ඒ කියමන තුළ ඇත්තේ ශෝකජනක කතාවකි. ඒ කතාව මෙසේය. ශ්‍රී ලංකාවේ ඩොලර් ආයෝජනය කිරීමට කටුනායක ගුවන් තොටුපළට එන විදේශිකයා මේ රටේ නිලධාරීන් විසින් දකිනු ලබන්නේ හොර වැසියකු හෝ කුඩුකාරයකු ලෙසය. එම පුද්ගලයා ගමන් බෑගයේ පතුලේ සඟවා රත්තරන් තොගයක් මෙරටට ගෙන එනු දැකීම නිලධාරීන්ගේ අපේක්ෂාව වේ. එවිට එම රත්තරන් තොගය අත්අඩංගුවට ගෙන ඒ වෙනුවෙන් හිමිවන විශාල තෑගි මුදල ලබා ගැනීමට නිලධාරීන්ට පුළුවන. විදේශිකයා රත්තරන් ගෙනෙන්නේ නැතිනම් ඔහුට රට ඇතුළට යෑමට ඉඩ ලැබෙයි. ඔහු ෆයිව් ස්ටාර් හෝටලයකට යන්නේ ගුවන් තොටුපළේ ටැක්සියකිනි. මේ සඳහා ගෙවීමට සිදුවන ටැක්සි ගාස්තුව සහ විදේශීය ආයෝජකයාට මෙරටට ඒමට වියදම් වූ ගුවන් ටිකට් පතේ මුදල අතර වැඩි වෙනසක් නැත. හෝටලයට යන ආයෝජකයා පසුදින ආයෝජන අවස්ථා ගැන දැනගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට යයි. එම ආයතනය තුළ හොඳ නිලධාරීන් මෙන්ම හොර කපුටෝ ද සිටිති. මේ කපුටු රැළට අහුවුණොත් ආයෝජකයාට ආපසු සිය රට බලා යෑමට සිදුවන්නේ යට ඇඳුම පිටිනි. හොර කපුටු රැළ ආයෝජකයා සතු සියල්ල සුද්ද කරගන්නවා ඇත. එහෙත් ආයෝජන මණ්ඩලයේ යහපත් නිලධාරීන් අතට පත්වී සුදුසු ආයෝජන අවස්ථාවකට එළඹීමට මේ විදේශිකයාට අවස්ථාවක් ලැබුණේ යැයි සිතමු. යුද්ධය පටන් ගන්නේ එතැන් සිටය. මේ රටේ බිස්නස් එකක් පටන් ගැනීමට එංගලන්තයේ මහ රැජිනගෙන් සහ ඇමරිකාවේ ජනාධිපතිගෙන් හැරුණු කොට අනෙක් සෑම කෙනකුගෙන්ම අවසර ගැනීමට සිදුවේ. ඒ ඒ අවසර පතා ඔහුට යෑමට සිදුවන ආණ්ඩුවේ ආයතන හැම එකකම ගසා කන්නෝ සිටිති. මේ ගසා කන්නන් හැම දෙනාම ආයෝජකයාගේ ව්‍යාපාරයට අවසර ලබා දෙන්නේ ජරාව දුන්නොත් පමණය. අන්තිමට මේ රටේ ආයෝජනය පිණිස ඔහු ගෙනෙන මුදලට සමාන මුදලක් ජරාව වශයෙන් ප්‍රදානය කිරීමට සිදුවේ. ඇමැතිතුමාගේ සිට පියන් දක්වා හැමදෙනාම බලන්නේ ආයෝජකයාගෙන් ගාණක් කපා ගැනීමටය. රට තුළට එන ආයෝජනවලින් 25%ක් හෝ 30%ක් ඉල්ලන ඇමැතිවරු මේ රටේ සිටිති. ඉතිං මේ රටට හරියන්නේ කොහොමද? එකම විසඳුම අප මෙහි මුලින් සඳහන් කළ උල්කාපාතය පමණක්ද?

advertistmentadvertistment
advertistmentadvertistment