මැදිරිගිරිය, පැරකුම්පුර ප්‍රදේශයේදී තම සැමියාට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මැදිරිගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවක මේ මස 30 වැනි දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලෙස හිඟුරක්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් චන්ද්‍රිකා කුමරප්පෙරුම මහත්මිය පෙරේදා (16 දා) නියෝග කළාය.
මෙසේ රිමන්ඞ් භාරයට පත්වූයේ මැදිරිගිරිය, පැරකුම්පුර අංක 1/60 ලිපිනයේ පදිංචි කන්දප්පුගේ සිරියාවතී (44) යන අයයි.
මැදිරිගිරිය, පැරකුම්පුර, අංක 18 ලිපිනයේ පදිංචිව සිටි 37 හැවිරිදි ආර්. එම්. ජගත් ප්‍රසන්න යන අය 15 දින රාත්‍රී පිහියා ඇනුමකින් ලත් තුවාල හේතුවෙන් පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී 15 දින මරණයට පත්ව ඇති බවත් පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර තිබෙන බවට විමර්ශනවලදී අනාවරණයවී ඇතැයිද මෙම මරණය සම්බන්ධයෙන් මරණකරුගේ බිරිය වන කන්දප්පුගේ සිරියාවතී යන අය සැකපිට අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කරුණු වාර්තා කරමින් කියා සිටියේය.
ඒ අනුව සැකකාරිය මේ මස 30 වෙනි දින දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ඝාතනයට ලක්වූ බව කියන පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කරනු ලැබීය.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. එල්. විතාන මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
කරුණාරත්න ගමගේ, අතුල සූරියබණ්ඩාර හිඟුරක්ගොඩ