උසස් පෙළට නැකත්

229

උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට ආරම්භවීමට නියමිතය. මේ විභාගය වූ කලී ජීවිතයේ ඉතා විශේෂ තරග විභාගයක් යැයි හැඳින්වීම වරදක් නොවේ. උසස් අධ්‍යාපනයට හෙවත් උපාධියක් ලැබීමේ වරම හිමිවන්නේ උසස් පෙළ සමත්වීම අනුව බව කවුරුත් දනී.

මේ නිසා සිසු දරුවන්ගේද මවුපියන්ගේද විශාල බලාපොරොත්තුවක් උසස් පෙළ විභාගය කෙරෙහි ඇතිවේ. හොඳින් පාඩම් කළ සියලු සිසුන්ට මෙන්ම හරිහැටි අධ්‍යාපන කටයුතුවල යෙදීමට නොහැකිවූයේ යැයි සිතන සියලු සිසුන්ටද විභාගයට ආසන්න මේ මොහොතේ යම් චකිතයක් ඇතිවීම ස්වභාවිකය. මේ බිය නිසා සමහර සිසුන්ට හිසේ අමාරු උදරාබාධ වැනි රෝග තත්ත්වයන් ඇතිවීමටද ඉඩ තිබේ. මේවා රෝග වුවද විභාගය අසමත්වේය යන බිය නිසා ඇතිවූ මානසික ආතතියක ප්‍රතිඵල වීමට ඉඩ තිබේ.

තත්ත්වය මෙසේ හෙයින් මෙම විභාගය ගැන ජ්‍යොතිෂ ඇසින් බලා සාකච්ඡා කිරීම කාලෝචිත යැයි සිතමු. මෙම විභාගයට පමණක් නොව ඕනෑම විභාගයකට පෙර දින කළ යුතු දේ හා නොකළ යුතු දේ තිබේ. නොකළ යුතු යම් යම් දේවල් කිරීම නිසා හිත අවුල් බවට පත්වන්නේය. එය බුද්ධිය අවුල් වීමකි. මේ ගැන හිතා බලමු.

නොකළ යුතු දේ

බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගයට පෙර සිදුවූ අතපසුවීම් ගැන සිතමින් පසුතැවෙති. මෙය නොකළ යුතුය. අතීතය ගැන කුමකට හෝ සිතමින් පසුතැවිලිවීම නිසා හිත අවුල් වේ. එමෙන්ම එසේ පසුතැවීම නිසා ලැබෙන කිසිදු වාසියක් නැත. වැදගැම්මකට නැති දේවල් සිතීම අත්හල යුතුවේ. යම් යම් පාඩම් හරිහැටි නොකළ බව මෙන්ම යහළු යෙහෙළියන් සමඟ ඇතිවූ අමනාපකම් වැනි ගැටලුද, සියලු ආකාරයේ බියද අත්හළ යුතුය. ඒ වෙනුවට හැකි උපරිමයෙන් විභාගයට මුහුණ දෙනවා යැයි සිතිය යුතුවේ.

තවද හිත තුළ තැන්පත්ව ඇති දැනුම ප්‍රකට නොවීමට නම් හිත අයාලේ යෑමට ඉඩ නොදිය යුතුවේ. රූපවාහිනියේ විවිධ වැඩසටහන්, මංගල උත්සව මෙන්ම අවමංගල උත්සව, සම්භාෂණ, විනෝදගමන්, අන්තර්ජාලයේ ක්‍රීඩා, ෆේස් බුක්, ආදියද හිත අවුල්වීමට හේතුවිය හැකිය. මේ නිසා පාඩම් කිරීමට යොදන කාලයට අමතරව විවේකීව සිටීම සුදුසුය.

සෞඛ්‍ය රැකගත යුතු බවද අමතක නොකළ යුතුය. ගස් නැගීම, බයිසිකල් පැදීම, අනතුරුදායක ක්‍රියා, අධික ලෙස වෙහෙසවීම, දුරගමන් යෑම, නුසුදුසු ආහාර පාන ගැනීම ආදිය නිසාද රෝගී වුවහොත් එය විභාගයට බාධාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඔබ අදහන කුමන ආගමක් හෝ පිළිබඳ වතාවත් කිරීම හිත නිදහස්ව තබා ගැනීමට හේතුවේ. මේ නිසා එය අනුගමනය කරන්න. බෞද්ධයන් නම් බුදුරජාණන් වහන්සේ මනා ප්‍රඥා මහිමය හෙවත් අසමාන ඥාණ ශක්තිය ගැන සිතා වන්දනා කිරීම ඉතා සුදුසුය. බෝධි පූජා කිරීමද සුදුසුය. මේ හැර පහත සඳහන් වාක්‍ය ගැන දිනපතා එකම වේලාවක දහසය වතාවක් තමන්ට ඇසෙනසේ කීම මැනවි.

“මම නිරෝගියි”
“මම ශක්තිමත්”
“මට පුළුවනි”

මෙම ස්වයං යෝජනා 16 වතාවක් දිනපතා කීම නිසා සියලු අහිතකර සිතිවිලි ඉවතට ගොස් මෙයින් කියැවෙන දේ ඔබේ යටි සිතට ඇතුල්වනවා ඇත. එය යථාර්ථයක් බවට පත්වේ. ආත්ම විශ්වාසය තහවුරුද වේ. නිතර හිතන දේ මත විශ්වාසය ගොඩනැගෙයි. විශ්වාසය කරන දේ සැබෑවක් බවට පත්වීම සිදුවේ. ඒ හිතේ අසීමිත බලයකි.

විභාග වලට පිටත්වන විට සුබ නැකතින් පිටත්වීමද පුරාණ සිරිතකි. මෙම විභාගය ආරම්භ වන්නේ 23 සඳුදා දිනය. මෙදින උදේ පැය එක හමාරක පමණ කාලයක් රාහු කාලය පවතින බව සැලකිය යුතුය. සෑම දෙයකටම වඩා අධ්‍යාපන කටයුතු වලට රාහු කාලය සුබ නොවන බව කියා තිබේ. මේ නිසා පළමු දිනය රාහු කාලය මගහැර පිටත්වීම සුදුසුය. ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදියාගේ උපදෙස් මත සුබ වේලාවන් සාදාගත හැකිය.

පහත සඳහන් වේලාවන් වලදීද පිටත්වීම සුබපලදායක වේ.

උදේ 6.59 නැගෙනහිර බලා
උදේ 7.05 නැගෙනහිර බලා
උදේ 7.15 නැගෙනහිර බලා
උදේ 7.25 නැගෙනහිර බලා

මේ වේලාවට චන්ද්‍ර හෝරාව හා යෙදෙන බුධ, ගුරු, සිකුරු යන පංචම කාලහෝරාද දිව්‍යමය සුබ මුහුර්තවල ඇති මනුෂ්‍ය නම් නැකත් වේලාවද උදාවන්නේය.

දරුවන් විභාගයට යන විට මවුපියන්ටද අතිවිශාල වගකීමක් තිබේ. ඒ දරුවාට යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීමට උදව් දීමයි. තාත්තා බීමත්ව ගෙදරට පැමිණීම, අම්මා සැරවැර තර්ජන කිරීම, මා පිය අසමගිය, කෝලාහල ආදිය ද දරුවාට බාධාවකි. විභාගයට පිටත්වන විට දරුවන් මාපියන්ට වැඳීමට අමතක නොකළ යුතු අතර ශබ්ද නගා ආශිර්වාද කිරීමද මාපියන්ගේ වගකීමකි.

දරුවා විභාග ශාලාවේ සිට විභාගය ලියන විටද ආශිර්වාද කරමින් සෙත් පැතීමට මාපියන්ට අවස්ථාව ලැබේ. ළඟම ඇති විහාරස්ථානයක සිට බෝධි පූජා පවත්වමින් සෙත් පිරිත් කියමින් මවුපියන් කරන ආශිර්වාදයද දරුවාට ඉමහත් ශක්තියක් වනවා ඇත.

උසස් පෙළට නැකත්

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
දුරකතන අංකය 077-1234313

advertistmentadvertistment
advertistmentadvertistment