උසස් පෙළ උසස් ලෙස ජයගත් දිවයිනේ දිරිය දරුවෝ – මට උදව් කළ සියලුම ගුරුවරුන්ට සහ සොයුරු සොයුරියන්ට  ස්තුති වේවා – අහිමි දේ ගැන නොසිතා හිමිව ඇති දෙයින්  ජීවිතය ජය ගත්තා

528

වානිජ විද්‍යා විෂය ධාරාවෙන් ඒ සාමාර්ථ තුනක් හිමි කරගත් දෙඅත සහ දකුණු පදය අහිමි  ඇහැලියගොඩ ජාතික පාසලේ රශ්මි නිමේෂා ගුණවර්ධන දියණිය කියයි

”සුරත වෙනුවට වම් පාදයෙන් අකුරු කළ, ඇහැලියගොඩ ජාතික පාසලේ රශ්මි නිමේෂා ගුණවර්ධන සිසුවිය 2021 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අනුව වානිජ විද්‍යා විෂය ධාරාවෙන් ඒ සාමාර්ථ තුනක් හිමි කර ගෙන ඇත.

උසස් පෙළ උසස් ලෙස ජයගත් දිවයිනේ දිරිය දරුවෝ - මට උදව් කළ සියලුම ගුරුවරුන්ට සහ සොයුරු සොයුරියන්ට  ස්තුති වේවා - අහිමි දේ ගැන නොසිතා හිමිව ඇති දෙයින්  ජීවිතය ජය ගත්තා

උපතින්ම ආබාධිත රශ්මි නිමේෂා දැරියට දෙඅත් සහ දකුණු පාදය අහිමිව සිටියත් ඇයට එය බාධාවක් නොවීය.

ඇගේ දෛනික අවශ්‍යතා සහ අධ්‍යාපන කටයුතුවලට වම් පාදය හුරුකර ගෙන ඇති අතර එමගින් ජීවිතය ගොඩනගා ගැනීම ගැන ඇය පවසන්නේ ”අහිමි දේ ගැන සිතමින් කම්පා වෙනවාට වඩා හිමි වී ඇති දේ මගින් ජීවිතය ” ගොඩ නගා ගැනීම ඇගේ අපේක්ෂාව බවයි.

ඇහැලියගොඩ ජාතික පාසැලේ ම සේවය කරන ඇගේ දෙමාපියන් සහ විදුහල්පතිතුමිය සහ පාසලේ සියලු ඟුරු මව්පියන්ගෙන් හා සහෝදර සිසු සිසුවියන් ගෙන් ලත් ඇප උපකාර හා අනුග්‍රහ පිළිබඳව ඇය සිහි පත් කරන්නේ කෘතවේදී බව පළකිරීමටය.

රශ්මි නිමේශාට පහසුවක් වීම සඳහා ඇය ඇහැලියගොඩ ජාතික පාසලට ඇතුළත් වූ දා සිට (හය වසරේ සිට එකොලහ වසර දක්වා) ඇයට වෙන් වන පන්ති කාමරය ඉහල මාලයක නොතබා ,ඒ සඳහා පහල මාලයක කාමරයක් වෙන් කිරීමට කටයුතු කිරීම පිළිබඳව ජාතික පාසලේ විදුහල්පතිනිය වූ හේමමාලි එම්. රාජගුරු මහත්මියටත්, හය වසරේ සිට එකොළහ වසර දක්වා ඇගේ පන්ති භාර ගුරුතුමිය වූ ”‍දෑ සමන් උඩුවර ගෙදර ”‍ මහත්මියත් රශ්මි නිමේෂා විශේෂයෙන් සිහිපත් කළාය.

කෑගල්ල ,දෙහිඕවිට, අඹන්ඔළුව විදුහලෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇහැලියගොඩ ජාතික පාසලට ඇතුළත් වූ නිමේෂා 2018 වසරේ දී අ.පො.ස. සා. පෙළ සමත් වූයේ ඒ සාමාර්ථ අටක් සහ බී සාමාර්ථයක් සමගිනි. එම වසරේ එම ප්‍රතිඵලය මාධ්‍යයට විශේෂ ප්‍රවෘත්තියක් වූයේ මෙම ශිෂ්‍යාව දැක්වූ කැපවීම හේතුවෙනි. විද්‍යාලයේ නිවේදන කටයුතු වල දී ඉංග්‍රීසි හා මවු භාෂාවෙන් එම කාර්ය කිරීමට ඇය විශේෂ නිපුණතාවක් දක්වන බව විදුහල් පතිනිය පවසයි.

2017 වර්ෂයේ වියට්නාමයේ දී පැවැති ජාත්‍යන්තර ”තොරතුරු තාක්ෂණය පිළිබඳ”තරඟයකදී රශ්මි නිමේෂා දිනාගත් රන් පදක්කමක් නිසා , මවු බිමටත් , ඇහැලියගොඩ ජාතික පාසලටත් ගෞරවයක් අත් වූ බව විදුහල්පතිනිය ”දිවයින” ට පැවසුවා ය.

මේ වන විටත් නිමේෂා ගේ පියා වන සරත් ගුණවර්ධන මහතා ඇහැලියගොඩ ජාතික පාසලේ ගුරු මණ්ඩලයේ සේවය කරන අතර සේවය සඳහා ඉදිරියට අවස්ථාව ඇතත් , ඇගේ මව වන ධම්මිකා ගුණවර්ධන ගුරුමාතාව නිමේෂා දියණිය ගේ අවශ්‍යතා වෙනු වෙන් කැප වීම සඳහා පසුගිය මස සිට විශ්‍රාම ලැබූ බව දරු ස්නේහයෙන් යුතුව අප සමග පැවසුවාය.

රශ්මි දැරිය ගීත ගායනයට සහ සංගීතයට සහජ හැකියාවක් ඇති ශිෂ්‍යාවකි. මේ වන විට ඒක පුද්ගල සංගීත ප්‍රසංග හතරක් ඇය විසින් පවත්වා ඇති අතර ඒවා ජනතාව අතරත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවර ගුරුවරියන් අතරත් ප්‍රසාදයට ලක් විය. සබරගමුවහිටපු පලාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ විශේෂ අනුග්‍රහය එම ප්‍රසංග සඳහා ලැබුණු බව රශ්මිගේ

පියා වනසරත් ගුණවර්ධන මහතා අප සමග පැවසුවේ කෘතවේදී වෙමිනි. රශ්මි ගේ සහෝදරිය කැළනිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ දෙවන වසරේ උපාධි අපේක්ෂිකාවක් ලෙස අධ්‍යාපනය ලබන්නීය.

ඇහැලියගොඩ උපාලි ප්‍රේමතිලක සහ බී.ජී.විමලවංශ

advertistmentadvertistment
advertistmentadvertistment