උසාවියට අපහාස කළාද?

284

මුදල් ලේකම්ට එරෙහි පෙත්සම් සලකා බැලීම මැයි 22දාට කල් යයි

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් කොට තිබියදීත් එම නියෝගය අනුව කටයුතු නොකළ මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර හා විජිත හේරත් යන මහත්වරුන් ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලීම සඳහා ලබන මැයි 22 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30දා) නියෝග කළේය.

නීතිඥ සම්පත් විජේවර්ධන හා නීතිඥ මංජුල බාලසූරිය යන මහත්වරුන් මගින් ගොනු කර තිබූ එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

ඒ සම්බන්ධයෙන් ලබන මැයි 8 වැනිදා විරෝධතා ගොනු කිරීමටත් ප්‍රති විරෝධතා මැයි 16 වැනිදා ගොනු කිරීමටත් පියවර ගන්නා ලෙසට සියලු පාර්ශ්ව වලට නියෝග කළ විනිසුරු මඬුල්ල මැයි 22 වැනිදා එම පෙත්සම් සලකා බැලීම සඳහා මෙම විනිසුරු මඬුල්ල හමුවේදීම කැඳවන ලෙසට ද නියෝග කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කටයුතු සඳහා 2023 වාර්ෂික අයවැයෙන් වෙන්කර ඇති මුදලින් ලබාදෙන ලෙසට පසුගිය මාර්තු 03වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් නියෝගයක් කොට තිබියදීත් ඒ අනුව කටයුතු නොකිරීම අධිකරණයට කර ඇති බලවත් අපහාසයක් වන්නේ යැයිද පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබිණි.

එබැවින් අධිකරණයට අපහාස කිරීමට එරෙහිව දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නොතිසි නිකුත් කරන ලෙසත් එම වගඋත්තර කරුවාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ චෝදනා පත්‍රයක් කෙටුම්පත් කර ඉදිරිපත් කරන ලෙසටත් නීතිපතිවරයාට නියෝගයක් කරන ලෙසත් එමගින් පෙත්සම්කරුවන් ඉල්ලා තිබිණි.

නීතිපති සංජය රාජරත්නම් මහතා, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ යන මහත්වරුන් සමග නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම හා ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය යන මහත්වරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටියේය. පෙත්සම්කරුවන් ඉදිරිපත් කර ඇති ලේඛන අධ්‍යයනය කර කරුණු දැක්වීමට දින ලබාදෙන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment