උසාවියෙන් සමාව ගනී: රන්ජන්ට නිදහස?

242

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිරදඬුවම් ලබන ජනසම්මානිත කලාකරු රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශ කරමින් අධිකරණයෙන් ඊයේ (25 දා) සමාව ඉල්ලා ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සනාථ කළේය.

මේ වන විට බන්ධනාගාරයේ සිටින රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් අධිකරණ අමාත්‍යාංශය හරහා එකී සමාව අයැද සිටීමේ දිවුරුම් ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පළමු නඩුවට හා දෙවන නඩුවට අදාළව අධිකරණයෙන් මෙසේ සමාව ඉල්ලා සිටින බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

තමන් සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්‍ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.

තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් රාමනායක මහතා අධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.

2017 අගෝස්තු 21 වැනිදා අරලියගහ මන්දිරයෙන් පිටත සිදු කළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වැනි දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණි. පළමු ප්‍රකාශය ඉවත් කර නොගන්නා බවට අධිකරණ භූමියේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙවැනි නඩුව ගොනුකර තිබිණි.

මේ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව පවරා තිබූ දෙවන නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබූ අතර පෙර නියම කර තිබූ වසර හතරක සිරදඬුවම සමග එම වසර දෙකක සිරදඬුවම එකවර ගෙවීයන ලෙසට ලබාදීමට ද එමගින් නියම කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක – හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment