උසාවියේ වෙඩි තැබීම: වැලිගම ඉඳන්ම පස්සෙන් පන්නලා

277

ගල්කිස්ස අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකදී මහෙස්ත්‍රාත්වරයා ඉදිරිපිටදීම විත්තිකරුවකුට වෙඩිත්බ පලාගිය සැකකරු අදාළ විත්තිකරු ලුහුබැඳ ඇත්තේ වැලිගම සිට බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරුගේ ඉලක්කයට ලක්වී ඇත්තේ වැලිගම පදිංචිකරුවකු බව අනාවරණය වෙමින් පවතින බව පොලිසිය කියයි.

මෙම සැකකරු මෙසේ අධිකරණයට පැමිණීම පොලිස් නිලධාරීන්ගේ වරදින් සිදුවූ බවට චෝදනා එල්ල වන නමුත් විත්තිකරුට මරණ තර්ජනයන් තිබෙන බවට වැලිගම පොලිසියෙන් තමන්ට දැනුම් දී නැතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

කෙසේ වෙතත් මෙම සැකකරු මෙම අධිකරණයට පැමිණි ආකාරය පිළිබඳව ආරක්‍ෂක වීඩියෝ කැමරා පද්ධති දිගින් දිගටම පරීක්‍ෂා කෙරේ. ඉලක්ක වූ විත්තිකරු අධිකරණයට පැමිණෙන දිනය විමර්ශනය කර සැකකරු මෙසේ අධිකරණයට පැමිණ ඇත.

අධිකරණයේ සේවකයකු හෝ පොලිස් නිලධාරියකු සමග සැකකරුට හිතවත්කමක් තිබී ඇද්දැයි කරුණු දැන ගැනීමට ආරක්‍ෂක කැමරා පරීක්‍ෂා කරගෙන යයි.

වැලිගම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් අප මේ පිළිබඳව කළ විමසීමකදී කියා සිටියේ මෙම සිද්ධියට වැලිගම පොලිසිය වගකිව යුතු නැති බවය. සැකකරුගේ ඉලක්කයට ලක්වූ විත්තිකරු කාලයක් තිස්සේ වැලිගම පදිංචිව නොසිටි බවද එම නිලධාරියා කීවේය.

කෙසේ වෙතත් මොහු ප්‍රේමන්ත නමැති අයකු වන අතර මොහු මිදිගම පොලිස් බලප්‍රදේශයේ පදිංචි අයකු බවද එම නිලධාරියා කීවේය. දැන ගැනීමට ලැබුණු තොරතුරු අනුව එම විත්තිකරුට කාලයක් තිස්සේ මරණ තර්ජන තිබූ බවද නිලධාරියා පැවසීය.

විත්තිකරු එම පළාත කාලයක් තිස්සේ අත්හැර දමා ගියේ නම් ඒ බව ගල්කිස්සට දැනුම් දෙන්නේ කෙසේ දැයි කියා වැලිගම පොලිස් නිලධාරියා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment