උසාවිය විහිළුවට ගන්න එපා වගකීමෙන් කටයුතු කරන්න!

520

*  අල්ලස් කොමිසමට හා නීතිපතිට උසාවියෙන් අවවාද

සමථ මණ්ඩලයක් නොවන තම අධිකරණය විහිළුවක් කර නොගෙන වගකීමකින් යුතුව කටයුතු කරන ලෙස බස්නාහිර පළාතබද දෙවන ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු ම`ඩුල්ල ඊයේ (02 දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හා නීතිපති දෙපාර්තමේන්තුවට අවවාද කළේය.

ඊයේ විභාගයට ගැනීමට දින නියම කර තිබූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ හා ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලංකා සතොස හිටපු සභාපති නලින් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබූ දාම් හා කැරම් ක‍්‍රීඩා උපකරණ නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවා කැඳවීම් දිනයක් නියම කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී විනිසුරු ම`ඩුල්ල එලෙස අවවාද කළේය.

එම නඩුව අමල් රණරාජා, ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන විනිසුරු ම`ඩුල්ල හමුවේදී ඊයේ පස්වරුවේ කැඳවිණි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා මෙම නඩුව විභාගයට නොගෙන කැඳවීම් දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.

අධිකරණය, මේ නඩුව විභාගයට ගන්න පෙරේදා (01 දා) දින නියම කළා. පැමිණිල්ලේ සාක්‍ෂිකරුවනුත් අධිකරණයට ඇවිත් ඉන්නවා. පැමිණිල්ලේ අධිචෝදනා පත‍්‍රයත් පෙරේදා සංශෝධනය කළා. චෝදනා ගැන මොනවාද තවත් සලකා බලන්න තියෙන්නෙ?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා,

අල්ලස් කොමිෂන් සභාවෙන් නඩුව විභාගට ගන්න මට උපදෙස් ලැබිලා නෑ. නැවත සලකා බැලිය යුතු බැවින් නඩුව විභාග රෝලෙන් ඉවත් කර කැඳවීමේ දිනයක් දෙන්න.

අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය – මේ නඩුවේ විභාගයට සහය දැක්වීමට මට කොමිෂන් සභාවෙන් උපදෙස් ලැබිලා නෑ. විභාගයට වෙනත් දිනයක් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

අධිකරණය – විභාගය ඉවත්කර ගැනීමට හේතුව මොකක්ද? මේක සමථ මණ්ඩලයක් නෙමෙයි. විභාගයට දින නියම කරන්න පෙර ඒ බව උසාවියට කියන්න තිබුණා. අධිකරණය විහිලූවක් කර ගන්න එපා. පැමිණිල්ල කළ සංශෝධිත අධිචෝදනා විත්තිය පිළිගන්නවා නම් පැමිණිල්ලට තියෙන ප‍්‍රශ්නය මොකක්ද? වගකීමක් නැතුව වැඩ කරන්න පුළුවන්ද? ඒ අනුව අල්ලස් කොමිෂන් සභාවේ ස්ථාවරය ලබන 8 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙසට අල්ලස් කොමිෂන් සභාවට හා නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළ විනිසුරු ම`ඩුල්ල විත්තිකාර මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ලබන 9 වැනිදා සිට 20 වැනිදා දක්වාත් මාර්තු 7 වැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වාත් විදේශ ගතවීමට අවසර ලබා දුන්නේය. එම විත්තිකරුගේ විදේශ ගමන් බලපත‍්‍රය තාවකාලිකව විත්තිකරු වෙත මුදාහැරීමටද වැඩදුරටත් නියම කළ විනිසුරු ම`ඩුල්ල එය ලබන මාර්තු 15 වැනිදා අධිකරණයට භාරදෙන ලෙසට ද නියෝග කළේය.

නීතිඥ ජයබා කළුපහන, නීතිඥ මාර්ක් ඇන්ටන්, නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා යන මහත්වරුන් විත්තිය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment