උසාවිය සනත් නිශාන්තගේ මාධ්‍ය හමුවේ වීඩියෝ ඉල්ලයි

126

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් 2022.08.28 වැනිදා කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වූ නඩුවට පාදකවූ මාධ්‍ය සාකච්ඡාවට අදාළ හඬපට හා වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතනවලින් හා පොදුජන පක්‍ෂ මූලස්ථානයෙන් ලබාගෙන ලබන දෙසැම්බර් 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (10දා) නීතිපතිවරයාට නියෝග කළේය.

එම වීඩියෝ දර්ශන වහාම ලබාදෙන ලෙසටද සිරස, සියත, ස්වර්ණවාහිනිය යන මාධ්‍ය ආයතනවලට හා පොදුජන පක්‍ෂ මූලස්ථානයේ බලධාරීන්ට අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

පෙර නඩු දිනයේදී අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා ඊයේ (10දා) අධිකරණය හමුවේ පෙනී සිටි අතර ලබන දෙසැම්බර් 12 වැනි දින ද නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද විනිසුරුවරයා සනත් නිශාන්ත මහතාට නියෝග කළේය.

වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවට අදාළ චෝදනා පත්‍රය කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවන නමුත් එය අවසන් කර නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ හසිනි ඕපාත මහත්මිය අධිකරණයට පැවැසුවාය.

නීතිඥ ප්‍රියලාල් සිරිසේන, නීතිඥ විජිත කුමාර හා ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ගොනු කර තිබූ පැමිණිලි තුන ලබන දෙසැම්බර් 12 වැනිදා යළි කැඳවීමටද විනිසුරුවරයා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment