උසාවි කැඳවන සිතාසියට එරෙහි දේශබන්දුගේ පෙත්සම ගැන තීන්දුව ජුනි 23 දා

73

තමාව අධිකරණයට කැඳවමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති සිතාසි නියෝගය අභියෝගයට ලක් කරමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබන ජුනි මස 23 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (30දා) දින නියම කළේය.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස් දහසක මුදල සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෞද්ගලික නඩුවක සැකකරුවකු ලෙස තීරණය කරමින් නිකුත් කළ සිතාසි නියෝගය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොනුකර තිබූ එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේදී කැඳවිණි.

පෙත්සම්කරු සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත්වරයා කිසිදු ආකාරයකින් පක්‍ෂග්‍රාහීව කටයුතු කර නොමැති බවත් උගත් මහෙස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත්තේ නීතියට අනුකූලව හා සර්ව සාධාරණ ආකාරයෙන් වන්නේ යැයි නීතිපතිවරයා ඊයේ (30දා) අභියාචනාධිකරණයට පැවසීය.

එබැවින් කොටුව මහෙස්ත්‍රාත්වරයා පක්‍ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට පෙත්සම්කාර පාර්ශවය නගන අභූත චෝදනා තමන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනා බවත් උගත් මහෙස්ත්‍රාත්වරයාට පෙත්සම්කරු සම්බන්ධයෙන් පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීමේ හැඟීමක් හෝ තිබුණේ නම් එම අධිකරණය හමුවේ අරගලයට සම්බන්ධ නඩුවක සැකකරුවකු ලෙස ඔහුව නම්කර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසට අගතියටපත් පාර්ශවයන් ඉල්ලීම් කළ අවස්ථාවලදී ඒ අනුව කටයුතු කිරීමේ හැකියාව තිබූ බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණයට පැවසීය.

පෙත්සම්කරු සැබෑ කරුණු සඟවා අධිකරණය නොමග යැවීමට උත්සාහ දරා ඇතැයිද ශවීන්ද්‍ර වික්‍රම මහතා විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය. අරලියගහ මන්දිරයට රැස්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්‍ෂිකයන් විශාල පිරිසක් ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල භූමියට කඩාවැදී එහි රැඳී සිටි අරගලකරුවන්ට පහරදීමට අදාළව සිදු කරන විමර්ශනවලට බාධාවක් වියහැකි බැවින් පෙත්සම්කරුට වහාම ස්ථානමාරුවක් ලබාදෙන ලෙසට නීතිපතිවරයා ලබාදුන් උපදෙස් පවා පොලිස්පතිවරයා විසින් ඉටුකර නැතැයිද රජයේ අධිනීතිඥවරයා කියා සිටියේය.

රජයේ අධිනීතිඥවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් දැක්වූ කරුණු සනාථ කරමින් එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කොට තිබූ මහින්ද ජයසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතාද අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

නිසි විමර්ශනයකින් තොරව පවරන ලද පෞද්ගලික නඩුවක සැකකරුවකු ලෙස පිළිගනිමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් සිය සේවාදායකයාට සිතාසි නිකුත් කිරීමට ඔහුගේ පක්‍ෂග්‍රාහිත්වය පෙන්නුම් කරන කරුණක් වන්නේ යැයි පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා විනිසුරු මඩුල්ලට පැවසීය.

නීතීඥ උදාර මුහන්දිරම්ගේ, තේජිත කෝරළගේ, නාමල් කරුණාරත්න යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මහින්ද ජයසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි අතර නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතීඥ සුගත් කල්දේරා, ටිරාන් ඇන්කමල් යන මහත්වරුන් ඇතුළු නීතීඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතීඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment