උළුදු වඩේ රණ්ඩුව

1154

රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ පැවසීයැයි දැනගන්නට තිබේ. ලේකම්තුමා මේ ප‍්‍රකාශය කරන අවස්ථාව වනවිට රසායනික පොහොර තහනමට එරෙහිව විපක්ෂය සහ ගොවි ජනතාව ආරම්භ කරන ලද විරෝධතා පෙරහැරෙන් තුන් කාලක් ගොස් හමාරය. ඉතිරි කාල වෙනුවෙන් හෝ කිසියම් සහනයක් සැලසීම ආණ්ඩුවේ වගකීමය. ඒ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කරන චීනුන්ට කසිප්පු විකුණා හසු වූ කිහිපදෙනෙක් ගැනද දැනගන්නට තිබේ. මෙය කිසිසේත්ම ගණනකට නොගත යුතු ප‍්‍රවෘත්තියකි. කොරියන් ව්‍යාපෘති සඳහා මෙරටට පැමිණි කොරියන් ශ‍්‍රමිකයන්ට බල්ලන් මරා මස් විකුණු අය ද මේ රටේ වෙති. මේ බල්ලෝ අයිතිකරුවන් නැතිව මහා පාරට වැටී සිටින අසරණයෝ ය. චීනුන්ට කසිප්පු විකිණීම කොරියානුන්ට බලූ මස් විකිණීමට වඩා නම්බුකාර ය. කෙසේ වුවද අපේ මාතෘකාව වන්නේ ඉන්දියානු ධීවරයන් ලංකාවේ මුහුදු සීමාවට කඩාවැදී ලංකාවේ ධීවරයන්ට පහරදී ඔවුන්ගේ දැල් කපා දමා බෝට්ටුවලට හානි කිරීම නිසා මහ මුහුදේ හටගෙන තිබෙන රණ්ඩුවකි. අවුරුදු පනහක් පමණ පරණ මේ අර්බුදය හඳුන්වන්නේ ඉන්දු-ශ‍්‍රී ලංකා ධීවර යුද්ධය (Indu – Sri Lanka Fishing war) යනුවෙනි.

මීට තෙසතියකට පමණ පෙර ශ‍්‍රී ලංකාවේ උතුරු මුහුදේ මුලතිව් ආශ‍්‍රිත ප‍්‍රදේශයේදී ඉන්දියන් ධීවරයන්ගේ ප‍්‍රහාරයට ලාංකික ධීවරයෝ ලක්වූහ. මෙයට විරෝධය පළ කිරීම සඳහා පේදුරුතුඩුවෙන් මාළු බෝට්ටුවලට නැගුණු දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් පිරිසක් සහ උතුරේ ධීවරයන් පිරිසක් අපේ මුහුදු සීමාව කෙළවරට ගොස් කළු කොඩි වනමින් විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කළහ. ඉන්දියාවේ කිසිදු ධීවරයෙක් මේ කළු කොඩි හෝ විරෝධතා පුවරු දුටුවේ නැත. එහෙත් ඉන්පසු ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙසට තමිල්නාඩු පොලිසිය එම ප‍්‍රාන්තයේ ධීවරයන්ට උපදෙස් දී තිබේ. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි එපා කිව්වත් ශ‍්‍රී ලංකා මුහුදු තීරයට කඩා වැදීම ඉන්දියානු ධීවරයන්ගේ පුරුද්දයි. උතුරු මුහුද මත්ස්‍ය සම්පත්වලින් ගහණ ප‍්‍රදේශයකි. මෙහි ජලයේ ඇති උණුසුම් තත්ත්වය නිසා ඉස්සන් ඇතුළු සමුද්‍ර ජීවීන් රැසක් ඉතා ඉක්මනින් ඇහැට කනට පෙනෙන්නට හැදෙති වැඩෙති. එබැවින් තමිල්නාඩුව අවට මුහුදේ වේලි වේලි සිටිනවාට වඩා ලංකා මුහුදේ මාළු බෑම ඉන්දියානු ධීවරයන්ට අප‍්‍රමාණ වාසියකි.

තමිල්නාඩු ධීවර ජනතාව සහ එම ප‍්‍රාන්තයේ දේශපාලනඥයන් අතර ලොකු බැඳීමක් තිබේ. මෙය අමුඩය සහ පශ්චාත්භාගය අතර පවත්නා බැඳීම වැනි බැම්මකි. තමිල්නාඩුවේ වෙරළාසන්න ප‍්‍රදේශ පාලනය කරන දෙමළ දේශපාලනඥයන්ට සල්ලි වියදම් කරන්නේ මාළු මුදලාලිලා ය. මේ මාළු මුදලාලිගේ වහලූන් වන දෙමළ ධීවර ප‍්‍රජාව ශ‍්‍රී ලංකා මුහුදු තීරය තුළට බලහත්කාරයෙන් එවීමේ වැඩපිළිවෙළ පිටුපස සිටින්නේද දෙමළ දේශපාලනඥයන්ය. තමිල්නාඩුවේ කට්ටිය ලංකා මුහුදේ මාළු බාන විට, මාළු බෑමට අමතරව මුහුදු පත්ල කා දමති. මෙහිදී ඔවුහු Bottom Trawling නමැති ක‍්‍රමවේදය පාවිච්චි කරති. ට්‍රෝලර් යාත‍්‍රාවක් මගින් විශාල අවර පෙත්තක් මුහුදු පත්ලට දමා එය කලතා දැල් මගින් මාළු ඇල්ලීම Bottom Trawling ක‍්‍රමවේදයේ එක් කාලකන්නි අවස්ථාවකි. අවර පෙත්ත මගින් මුහුද කලඹන විට මුහුදු පත්ලේ සිටින සමුද්‍ර ජීවීන් කලබලයට පත්ව මුහුදු මතුපිටට එන්නට උත්සහ කරති. ඒ එක්කම මුහුදු පත්ලට දැල් දැමූ විට එම සත්තු දැලට හසුවෙති. මෙහිදී විශාල මාළු ද එම මාළුන්ගේ පැටව් ද කැස්බෑවුන්ද බෙල්ලන් ද දැලට කොටු වෙති. වරක් Bottom Trawling කළ සමුදුරු පත්ල තව අවුරුදු දහයකටවත් ප‍්‍රතිසංස්කරණය වන්නේ නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ව සිටි කාලයේදී උතුරු සහ නැගෙනහිර මුහුදේ Bottom Trawling කොල්ලය ගැන ඉතා හොඳින් දැනගත් අතර ඒ පිළිබඳව තමිල්නාඩුව සමග සාකච්ඡා කර ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ දේශසීමා ආරක්ෂාව ද තර කළේය. යුද්ධයෙන් පසු රට යථා තත්ත්වයට පත්වූ බැවින් ඉන්දියානු ධීවරයන්ගේ කොල්ලකෑම නැවතත් ඇරඹින. යුද සමයේදී එල් .ටී. ටී. ඊය ඉස්සන් බිස්නස් එකක් කළේය. එය මෙසේය. උතුරු සහ නැගෙනහිර මුහුදේ ඉස්සන් ඇල්ලීම සඳහා ශ‍්‍රී ලාංකික දෙමළ ධීවරයෝ රාත‍්‍රී කාලයේදී වැඩ අරඹති. එළිවන විට ඔවුන්ගේ බෝට්ටු ඉස්සන්ගෙන් පිරී ගොස් ඇත. එවිට එම ධීවරයන් වෙත කඩා වදින එල්. ටී. ටී. ඊයේ මුහුදු කොටි එම මත්ස්‍ය සම්පත කොල්ල කා ඉන්දීය ධීවරයන්ට ලාබෙට අලෙවි කළහ. මෙය මහ මුහුද මැදදී ඉන්දියානු රුපියල්වලින් කෙරුණු ගනුදෙනුවකි.

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අර්බුදයක් සෑම කල්හිම තිබිණ. අඩුම ගණනේ මේ රටවල් දෙක උළුදු වඬේ එකක් වෙනුවෙන් හෝ ගුටි කෙළ ගත්හ. ශ‍්‍රී ලංකාවේ උතුරු පළාත සහ ඉන්දියාවේ තමිල්නාඩුවත් මැලේසියාවේ කෑල්ලකුත් එකතුකර Greater Eelam හෙවත් මහා ඊළමක් තැනීමේ සිහිනය දකිමින් සිටින දෙමළ දේශපාලනඥයෝ අදටත් තමිල්නාඩුවේ සිටිති. දෙරට අතර ගිනි ඇවිල තිබෙනු දැක්ම ඔවුන්ගේ අභිප‍්‍රාය බව ආණ්ඩුව මතක තබාගත යුතු අතර දෙරට අතර ධීවර ප‍්‍රශ්නය විසඳීමේදී එම මූලික කාරණය ද සැලකිල්ලට ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment