උළු කර්මාන්තකරුවෝත් කබලෙන් ළිපට

281

සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සභාපති බැප්ටිස් ප්‍රනාන්දු

භූමිතෙල් මිල ඉහළ යෑමෙන් උළු කර්මාන්තකරුවන් කබලෙන් ලිපට වැටී ඇති අතර වගේම අවශ්‍ය භූමිතෙල් ලබා දීමට රජය ක්‍රියා නොකරයි නම් විශාල උළු හිඟයක් රටේ ඇති වීම වළක්වාලිය නොහැකි බවත් ඒ වෙනුවට සෙවිලි තහඩු විදේශවලින් ගෙන්වීමට ඩොලර් සෙවීමට සිදුවනු ඇති බවත් සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සභාපති බැප්ටිස් ප්‍රනාන්දු මහතා පවසයි.

එම සංගමය වයික්කාල ප්‍රදේශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ විය.

වැඩිදුරටත් කරුණු දැක්වූ බැප්ටිස් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

“අපේ සංගමයට අයත් උළු මෝල් 250ක් පමණ රටපුරා තිබෙනවා. භූමිතෙල් හිඟයෙන් මේ වන විට කර්මාන්තශාලා 150කට වැඩි ගණනක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. ඉතිරි කිහිපය ද කරගෙන යන්නේ ඉතා අසීරුවෙන්. ඒ වගේම භූමිතෙල් මිල ඉහළ දැමීමෙන් අපි තවත් අමාරුවේ වැටුණා. දැන් අපි කොහොමද මේ කර්මාන්තය පවත්වාගෙන යන්නේ. අපි වැඩි දෙයක් රජයෙන් ඉල්ලන්නේ නෑ. උළු අච්චුවේ තවරන්න සතියකට එක් කර්මාන්තශාලාවකට භූමිතෙල් ලීටර් 50ක් විතරයි අපි ඉල්ලන්නේ.

අපේ කර්මාන්තශාලා මඟින් දේශීය සෙවිලි අවශ්‍යතාවයෙන් 40% ක් සම්පූර්ණ කරනවා. අසූව දශකයේ දී අපි එය 70% සම්පූර්ණ කළා. සෑම කර්මාන්තශාලා හිමිකරුවෙක්ම රුපියල් මිලියන 40ක් පමණ ආයෝජනය කරලයි මේ කර්මාන්ත පවත්වාගෙන යන්නේ. භූමිතෙල් මිල ඉහළ යෑමෙන් වගේම හිඟයෙන් ඒ අය අද අසරණ වී සිටිනවා. අපේ කර්මාන්තශාලා ආශ්‍රිතව ඍජු හා වක්‍රව දහස් ගණනක් රැකියා කරනවා. අපේ සේවකයින්ට අපි ස්ථිර නිවාස තුන් දහසක් පමණ ලබා දී තිබෙනවා. මේ පවුල් අද අසරණ වී සිටිනවා. අපි කර්මාන්තශාලා හිමිකරුවන් විදියට පෝලිමේ ඉඳන් භූමිතෙල් අරගෙන ඇවිත් යන්තමට හරි මේ කර්මාන්තය පවත්වාගෙන ගියා. ඒත් දැන් පෝලිමේ ඉඳලා වත් ගන්න භූමිතෙල් නෑ. මේ වෙනකොට පෝලිමේ ඉඳලවත් ගන්න බැරි ගාණට තෙල් මිල ඉහළ දමලා තියෙනවා. මේ තත්වය මත රටේ හදන ගෙවල්වලට ගන්න පිටරටින් සෙවිලි තහඩු ගෙන්වන්න විශාල ඩොලර් තොගයක් අවශ්‍ය වෙයි. අපි රජයේ බළධාරීන්ට මේ බව කිහිප වරක්ම ප්‍රකාශ කර ඉල්ලීම් කර තිබෙනවා. ඒත් යහපත් ප්‍රතිචාර ලැබී නෑ. මැටි හා දර ලබා

ගැනීමේදීත් විවිධ බාධක, නීතිරීතිවලට ඉතා අමාරුවෙන් කරගෙන යන උළු කර්මාන්තයට අවශ්‍ය භූමිතෙල් ලබා දෙන ලෙස අපි නව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.” යැයි ද බැප්ටිස් ප්‍රනාන්දු මහතා පැවසීය. සංගමයේ භාණ්ඩාගාරික මාර්කස් ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් කිහිප දෙනෙක් මෙහිදී අදහස් දැක්වීය.

ගම්පහ සමූහ – සුසිල් රණමුක
 

advertistmentadvertistment
advertistmentadvertistment