උ/නැ විහාරස්ථාන ළඟ හමුදා කඳවුරු ඉවත් කරන්න එපා

137

ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති

උතුරු නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශවල සුරක්‍ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යෑම සුදුසු බව ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.

මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන නාහිමි, අමරපුර මහානිකායේ උත්තරීතර මහා නායක දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි නාහිමි හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ ශ්‍රී විමල නාහිමියන්ගේ අත්සනින් යුතුව ජනපතිවරයා වෙත මේ පිළිබඳ ලිපිය යොමු කර ඇත. එම ලිපියේ මෙසේ ද දැක්වෙයි.

අප රට පෙරාපර දෙදිග සම්භාවනාවට පාත්‍රව ඇත්තේ ථේරවාදී බෞද්ධ දර්ශනයේ කෝෂ්ටාගාරය ලෙසයි. සහස්‍ර දෙකකට අධික ලක්දිව සාඩම්බර ඉතිහාසයේ ශ්‍රී විභූතිය ලොවට ප්‍රකාශ කරන ජීවමාන සාධක වනුයේ දිවයින පුරා පිහිටි ඓතිහාසික බෞද්ධ වෙහෙර විහාරස්ථාන බව නොරහසකි. අද වනවිට දේශයේ ආධ්‍යාත්මික ශික්‍ෂණය උදෙසා මෙන්ම ආර්ථික දියුණුව උදෙසා ද දිවයින පුරා පිහිටි බෞද්ධ වෙහෙර විහාරස්ථාන තුළින් ලැබෙන පිටිබලය ඉමහත්ය. එහෙයින් එකී වෙහෙර විහාරස්ථානයන්ගේ සුරක්‍ෂාව මෙන්ම පැවැත්ම තහවුරු කිරීම රජයේ වගකීම බව සිහිපත් කර සිටිනු කැමැත්තෙමු.

දශක තුනකට අධික කාලයක් පැවති බිහිසුණු යුදමය වාතාවරණය තුළ පවා සම්බුද්ධ ශාසනයේ සුරක්‍ෂාව උදෙසා දැඩි කැපවීමෙන් උතුරු හා නැගෙනහිර පළාත් තුළ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන ආරක්‍ෂා කර ගනිමින් ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට සම්බුද්ධ දර්ශනයේ සංස්පර්ෂය ලබා දීමට ඒ පළාත්වාසී භික්‍ෂූන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නට යෙදිණි. තත් කාර්යයෙහිලා සහයෝගය ලබාදෙමින් විහාරස්ථානවල කටයුතු කරන භික්‍ෂූන් වහන්සේලාට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ද සපයමින් එදා සිට අද දක්වාම උතුරු නැගෙනහිර පළාතේ පිහිටි ඓතිහාසික සිද්ධස්ථාන ආරක්‍ෂා කර ගැනීම හා නඩත්තු කටයුතු සඳහා ආරක්‍ෂක අංශ විසින් සුවිසල් මෙහෙයක් ඉටුකරනු ලබයි.

වර්තමානය වනවිටත් උතුරු නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව බෞද්ධ ගම්මාන පිහිටා නැත. ඉතා සීමිත දායක පිරිසක් ඇතැම් විහාරස්ථාන ආශ්‍රයේ කටයුතු කළ ද විහාරස්ථාන නඩත්තු කොට පෝෂණය කිරීමට තරම් වත්පොහොසත්කම් නැති එවැනි බොහෝ පිරිසකට උපකාර සලසනුයේ මෙම ප්‍රදේශයේ වැඩ සිටින මහා සංඝරත්නය විසිනි.

එසේම පසුගිය කාලවකවානුව තුළ දිවයිනේ අනෙකුත් පළාත්වල ද සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් විහාරස්ථානයන්ගේ ආරක්‍ෂාව හා සංවර්ධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවන්ගෙන් සුවිශේෂී දායකත්වයක් සපයා දෙන ලදී. එකී සිද්ධස්ථාන කෙරෙන් ආරක්‍ෂක අංශ ඉවත්කිරීම එම සංවර්ධන කාර්යයන් අඩාල කිරීමට හේතු වනු ඇත. එහෙයින් උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල ද පිහිටා ඇති සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්‍ෂාව හා සංවර්ධනය උදෙසා අනුයුක්ත කර ඇති ආරක්‍ෂක හමුදා නිලධාරීන් තත් අවශ්‍යතාවන්ට අනුරූප පරිදි එකී සිද්ධස්ථාන ආශ්‍රයෙහි යෙදවීම යෝග්‍ය බවත් එසේම උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශයන්හි සුරක්‍ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යාම සුදුසු බවත් කරුණාධ්‍යාශයෙන් යුතුව දන්වා සිටුම්හ.

advertistmentadvertistment
advertistmentadvertistment