උ/පෙළ කල්දාන්න: නාගානන්ද උසාවි යයි

211

ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය සති 20 කින් කල් දැමීමට බල කරන නියෝගයක් අධ්‍යාපන අමාත්‍යවරයා හා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ඊයේ (28දා) අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කළේය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබන 7 වැනිදා එම විභාගය පැවැත්වීමට නිකුත් කර ඇති විභාග කාලසටහන ක‍්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන අතුරු ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු එමගින් අභියාචාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන එම අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සුනිල් ජේ. නවරත්න හා විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන යන මහත්වරුන් නම්කර ඇත.

පසුගිය කාලයේ ව්‍යාප්තවී තිබූ කොරෝනා වසංගත තත්ත්වය නිසා සිසු සිසුවියන්ගේ ඉගෙනුම් ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටී තිබූ බවත් එම තත්ත්වය මත 2021/2022 අපොස උසස් පෙළ විභාගය සති 20කින් කල් තබන බවට ජාතික අධ්‍යාපන ආයතනය පවා නිර්දේශ කර තිබූ බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් සඳහන් කර තිබිණි.

එලෙස ජාතික අධ්‍යාපන ආයතනය කර තිබූ නිර්දේශ පැහැර හරිමින් අධ්‍යාපන ඇමැතිවරයා හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලබන 7 වැනිදා අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට උපදෙස් ලබාදී ඇති බැවින් එදින විභාගය පැවැත්වීම වළක්වන සර්ටෝරියාර් රීට් ආඥාවක් එම වගඋත්තරුකරුවන්ට නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා ඇත. වගඋත්තරකරුවන්ගේ එකී ක‍්‍රියා කලාපය නිසා ලක්ෂ සංඛ්‍යාත සිසු සිසුවියන්ට දැඩි අගතියක් වන බැවින් කඩිනමින් සිය පෙත්සම විභාගයට ගෙන එම සහන ලබාදෙන ලෙසටද පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment