උ/පෙළ නිම වනතෙක් අඛණ්ඩ විදුලිය තවමත් වැට උඩ

52

උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය අඛණ්ඩව ලබාදීමට මානව හිමිකම් කොමිසම හමුවේදී පාර්ශ්ව කිහිපයක් එකඟතාවයකට පැමිණියත් ඊයේ (26 වැනිදා) වන විටත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නොහැකිවූ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා (PUCSL) කොමිසමේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.

ඒ අනුව ඊයේ (26 වැනිදා) දිනයේදීත් දෛනික විදුලි කප්පාදුව සාමාන්‍ය පරිදි සිදුවිය. තාප බලාගාර මගින් විදුලිය ජනනයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමේ අර්බුදය නිසා මෙම තත්ත්වය උදාවී ඇත.

තාප බලාගාර මගින් විදුලිය ජනනය කිරීම සඳහා ඉකුත් කාලයේදී විදුලිබල මණ්ඩලය ණය පදනම මත ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් රුපියල් කෝටි 10800 (බිලියන 108) ක් වටිනා ඉන්ධන ලබාගෙන ඇත. එම මුදල් පියවා දමන ලෙසට තෙල් සංස්ථාව දැනුම්දී තිබුණත් විදුලිබල මණ්ඩලය සතුව මුදල් නොමැති නිසා එම ණය මෙතෙක් පියවා දමා ඇත.

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනවලදී අඛණ්ඩව විදුලි බලය ලබාදීමේදී ඒ සඳහා රුපියල් කෝටි 500 (බිලියන 5) පමණ වටිනා ඉන්ධන අවශ්‍ය වන අතර සංස්ථාව සතු ඉන්ධන මණ්ඩලයට ලබාදුන්නොත් ප්‍රවාහනය සඳහා ඉන්ධන නොමැති වනු ඇතැයි සංස්ථාව කියා සිටී.

මානව හිමිකම් කොමිසමේදී අඛණ්ඩව විදුලි බලය ලබාදීමට යම් එඟතාවයකට පැමිණියත් පවතින මූල්‍ය අර්බුදය මත එම තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි ලංවිම ඉංජිනේරුවරු කියා සිටියහ.

තෙල් සංස්ථාවට හා විදුලිබල මණ්ඩලයට තවදුරටත් ණය ලබාදීම රාජ්‍ය බැංකු දෙක ප්‍රතික්‍ෂේප කර තිබෙන බවද එම ආයතනවල නිලධාරීහු සඳහන් කළහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment