උ. පෙළ ප්‍රතිඵල  මේ මස අවසානයේ

131

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2021) විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයට (30 හෝ 31) පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ‘දිවයින’ ට පෙරේදා (21දා) පැවසීය.

උ.පෙළ ප්‍රතිඵල මේ මස මැද ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව අදහස් කළත්, ඉන්ධන අර්බුදය ඇතුළු විවිධ හේතු නිසා අයැදුම්කරුවන් 400 කට පමණ ප්‍රායෝගික පරීක්‍ෂණවලට සහභාගිවීමට නොහැකි වී ඇත. නැවත ප්‍රායෝගික පරීක්‍ෂණ ඉල්ලීම නිසා ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළ බවත් ඒ මහතා කීය.

එම සිසුන් සඳහා ද ප්‍රායෝගික පරීක්‍ෂණ පසුගිය 19 සහ 20 දිනවල පැවැත්වූ බවත්, එම පරීක්‍ෂණවලට ඇතැම් සිසුන් සහභාගි නොවූ බවත් ඒ මහතා කීය. කෙසේ වෙතත් මේ වන විට ප්‍රතිඵල ලබාදීමට අවශ්‍ය කටයුතුවල අවසන් අදියරේ පවතින බවත් ධර්මසේන මහතා කීය.

විභාගය සඳහා අයැදුම්කරුවන් 345,242ක් විභාග මධ්‍යස්ථාන 2438 කදී පෙනී සිටියහ. විභාග ප්‍රතිඵල ලබාදීමේදී දිවයිනේ හෝ දිස්ත්‍රික්කයේ පළමු හෝ වෙනත් ස්ථාන ප්‍රකාශ නොකරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment