උ.පෙළ ප්‍රායෝගික පරීක්‍ෂණවලින් ගුරුවරු අද සිට ඉවත් වෙති

80

අපොස උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු පවතින ඉන්ධන අර්බුදය හමුවේ තවදුරටත් අඛණ්ඩව කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඊට නිසි විසඳුම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් වීම හේතුවෙන් අද (5දා) සිට සියලුම ප්‍රායෝගික පරීක්ෂණවලින් ගුරුවරුන් ඉවත් වීමට කටයුතු කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුරයේදී පැවසීය.

අද සිට ප්‍රායෝගික පරීක්ෂණවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“මේ වනවිටත් මෙම ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් අඩපණ වෙලා.

ලංකාව පුරා ප්‍රායෝගික මධ්‍යස්ථාන හතළිස් හතරක (44ක) ගුරුවරුන් අටසිය පනහක් (850ක්) මෙම පරීක්‍ෂණවල නිරතව සිටිනවා. ඉංජිනේරු තාක්ෂණ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සිසුන් විසිහතර දහස් නවසිය පනහක් (24950ක්) පෙනී සිටිනවා. මෙම මධ්‍යස්ථාන තියෙන්නේ දුර බැහැර ප්‍රදේශවලයි. මොනරාගල මධ්‍යස්ථානයට අම්පාරේ සිට සිසුන් පැමිණිය යුතුයි. අනුරාධපුර, තඹුත්තේගම වැනි ප්‍රදේශවල සිසුන් බලගල්ල වැනි ප්‍රදේශවලට යා යුතුයි. පොදු ප්‍රවාහන සේවා නැහැ. පෞද්ගලික වාහනවල යන්න ඉන්ධන නැහැ. මේ නිසා එම සිසුන් හා දෙමාපියන් අසරණ වෙලා. ඒ වගේම මෙම පරීක්ෂකවරුන් වෙනත් දිස්ත්‍රික්කවල මධ්‍යස්ථානවල රාජකාරි කරන නිසා විවිධ ස්ථානවල නැවතී සිට තමා ඇගයීම් සඳහා යන්නේ. බෝඩිං ගාස්තු, ආහාර හා ගමන් වියදම් විශාල ලෙස වැඩිවෙලා. දැනට දෙන රුපියල් දෙදහස් පන්සිය මේ සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. එම දීමනාව වහාම වැඩි කරන ලෙස ඉල්ලා තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ අද සිට ප්‍රායෝගික ඇගයීම් මධ්‍යස්ථාන හතළිස් හතරේම කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමනවා.

අපි මීට පෙර මෙම ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළා. නමුත් ඒවා ඉටු වුණේ නැහැ. උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිටත් ප්‍රමාද වෙලා. මේ තත්ත්වය හමුවේ ගැටලුවලට කඩිනමි විසඳුම් ලබා නොදීම නිසා උ. පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වීමෙන් තවත් අර්බුද රැසක් ඇතිවෙනවා”

නොච්චියාගම -එම්.එම්.පී.ජී. පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment