උ. පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව ප්‍රමාද වීමෙන් – සා. පෙළ විභාගයත් කල්යයි

51

අධ්‍යාපන ඇමැති

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්‍ෂාව පමාද වීම නිසා සාමාන්‍ය පෙළ විභාගය කල් යා හැකි බවත්, දරුවන් ලක්‍ෂ 40 කගේ අයිතිවාසිකම් ගැන කිසිවකු කතා කරන්නේ නැති බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

උසස් පෙළ විභාගය සාර්ථකව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්‍ෂාව සති දෙකක් ප්‍රමාද වීම නිසා සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතු මාස තුනක පමණ කාල පරතරය අඩුවීමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය පවා කල් යෑමට ඉඩකඩ පවතින බව ද ඊයේ (13 දා) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගතය නිසා මඟහැරුණු පාසල් අධ්‍යයන කටයුතු ආවරණය කර ගැනීම සඳහා ක්‍රියාකරන ලොව කිසිදු රටක් දරුවන් අපහසුතාවට පත්වන අන්දමේ වෘත්තීය ක්‍රියාමාර්ග නොගන්නා බවත් දරුවන් ලක්‍ෂ 40 කගේ හා ඔවුන්ගේ දෙමාපියන් ලක්‍ෂ 80 ක ගේ පමණ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් කිසිවකු කතා නොකරන බවත් ඇමැතිවරයා කීය.

ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපන කටයුතු යථා පරිදි සිදුවන අතර වෘත්තීය ක්‍රියාමාර්ග නිසා අධ්‍යාපන කටයුතු අඩපණ වීමෙන් වැඩි වශයෙන් අසාධාරණය සිදුවන්නේ ආර්ථික දුෂ්කරතා සහිත පහළ යැපුම් මට්ටම්වල බහුතර ජනතාවට බව ද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment