උ. පෙළ විභාගය කාලයේ විදුලිය කපන්න එපා – ඇමැති ඉල්ලයි

80

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස, අදාළ අංශවලට දැනුම් දී ඇතැයි, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය. අ.පො.ස. උසස් පෙළ විභාගය පෙබරවාරි 07 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය අවසන් වන්නේ මාර්තු 05 වැනිදාය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇතැයි තම අපේක්ෂාව බවද අමාත්‍යවරයා පැවසීය. පසුගිය නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාගය සඳහා, අමාත්‍යාංශයේද උපදෙස් මත, විභාග කොමසාරිස්වරයා සියලූ කටයුතු සූදානම් කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා උසස් පෙළ විභාග ප‍්‍රතිඵල දෙන කාල සීමාව කලින්ට වඩා අඩකින් අඩුකර, එම තරුණ පිරිසගේ අධ්‍යාපන කාලය ඉතිරි කරදීම තම අභිප‍්‍රාය බවද සඳහන් කළේය. විභාග ප‍්‍රතිඵල පමාවන්, විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ ප‍්‍රමාදයන් වළක්වා ගතහොත්, දරුවෙකුගේ අධ්‍යාපන කාලයේ අපතේ යන වසරක පමණ කාලයක් ඉතිරි කරදිය හැකි බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිය විමධ්‍යගත අරමුදලින් හෝමාගම ගොඩගම මාර්ග 8ක් කාපට් අතුරා සංවර්ධනය කර, විවෘත කිරීමේ අවස්ථාවන්ට ඊයේ (30දා) එක්වෙමිනි. එම අවස්ථාවට හෝමාගම මහජන එක්සත් පෙරමුණ ප‍්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී යදාමිණි ගුණවර්ධන සහ හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී විකුම් කිත්සිරි සොයිසා යන මහත්වරුද එක්ව සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment