එංගලන්තයට කුසලානය වෙනුවට කටාරයේ දඩාවතේ ගිය පූසෙක්

981

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ‘ෆිෆා’ ලෝක කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්ව තරගාවලියෙන් ඉවතට විසි වූ එංගලන්ත පාපන්දු කණ්ඩායම කටාර් රාජ්‍යයේ දඩාවතේ යන පූසෙකු හදා වඩා ගැනීම සඳහා එංගලන්තයට ගෙන යෑමට තීරණය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මාධ්‍යවල නැවත පුවත් මැවීමට සමත් වී තිබේ.

කටාර් රාජ්‍යයේ සත්ත්ව සුබසාධන සංගමයට අනුව එංගලන්ත පාපන්දු කණ්ඩායම ලෝක පාපන්දු ශූරතා තරගාවලියට සහභාගි වීමේදී නවාතැන් ගෙන සිටි හෝටලයට නිතර පැමිණී “ඩේව්” යනුවෙන් නම් කර ඇති දඩාවතේ යන පූසා එංගලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනකු සමග දැඩි ලෙස කුළුපග වීම හේතුවෙන් ඔවුන් මෙසේ එම පූසා එංගලන්තයට ගෙන යෑමට තීරණය කර තිබේ. මේ වන විට එංගලන්ත පාපන්දු කණ්ඩායම සිය මව් රට බලා පිටත්ව ගොස් ඇති අතර ඔවුන්ගේ මිතුරු “ඩේව්” පූසා පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් නවාතැන් ගෙන සිටි කටාර් රාජ්‍යයේ අල් වක්‍රා හෝටලයෙන් පිටව ගොස් පැය දෙකකට පමණ පසු විශේෂිත කුඩුවක දමා දේශීය පශු වෛද්‍ය සායනයකට පරීක්ෂාවක් සඳහා ගෙන ගොස් තිබේ.

“ඩේව්” එම පශු වෛද්‍ය සායනයේදී රුධිර පරීක්ෂාවකට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය එන්නත් ලබා දීමද සිදු කෙරෙන බවත් මාස හතරක කාලයක් එම සායනයේ නිරෝධායනය වීමෙන් පසු සිය අලුත් නවාතැන වන එංගලන්තය බලා පිටත්ව යනු ඇති බව කටාර් සත්ත්ව සුබසාධන සංගමය නිවේදනය කර තිබේ. එංගලන්ත පාපන්දු කණ්ඩායම ලෝක පාපන්දු කුසලානය දිනාගතහොත් පමණක් මෙම පූසාව එංගලන්තයට ගෙන යෑමට කණ්ඩායමේ සාමාජිකයන් මුලදී තීරණය කර තිබුණද කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසි වූ පසු ඔවුන් විසින් පූසාව සිය මව් රටට රැගෙන යෑමට ස්ථීර වශයෙන් නිගමනයකට එළඹ තිබේ. එංගලන්ත පාපන්දු කණ්ඩායම කටාරයේ නවාතැන් ගෙන සිටි හෝටලයට සවස් කාලයේ ආහාර සොයා ගෙන නිතර ගොස් ඇති “ඩේව්” පුසා පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් වැඩි දෙනකු සමග කුළුපග වුවද ඔහුත් සමග වැඩි වශයෙන් කාලය ගත කර ඇත්තේ ජෝන් ස්ටෝන්ස් හා කයිල් වෝකර් යන ක්‍රීඩකයන් දෙපළ සමගිනි. මුල් අවස්ථාවේදී මෙම පූසා හෝටලයට පැමිණි පසු ඔහුට රාත්‍රී ආහාරය ලබා දීමත් සමගම එංගලන්ත පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් සමග කුළුපගව ඇති “ඩේව්” හට එම නම තබා ඇත්තේද එංගලන්ත ක්‍රීඩකයන් විසින් වන අතර ඔහුට පාපන්දු කණ්ඩායමට වාසනාව ගෙන දෙන නිල නොවන සාමාජිකයා යන අරුත ගෙන දෙන “අන්ඔෆිෂල් මැස්කොට්” යන නාමයෙන් හැඳින්වීමටද ක්‍රීඩකයන් විසින් පෙළඹී තිබේ.

ඒමන්ති මාරඹේ
(විදෙස් මාධ්‍ය වාර්තා ඇසුරිනි)

advertistmentadvertistment
advertistmentadvertistment