එංගලන්තයට දරුණු කුණාටුවක්

453

දශක තුනකට පමණ පසු ඊයේ (18 දා) දිනයේ එංගලන්තයට කඩා වැදීමට නියමිතව තිබූ ‘ඉයුනිස්’ යනුවෙන් නම් කර ඇති දරුණු කුණාටුවක් හේතුවෙන් එංගලන්තය පුරා වෙසෙන මිලියන ගණනක ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙස එංගලන්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මෙහිදී එංගලන්තය පුරා දැඩි හානිකර තත්ත්වයක් ඇති වීම සනිටුහන් කරන රතු නිවේදන මෙන්ම ඇම්බර් (කහ හා තැඹිලි ආශ‍්‍රිත පැහැය) හා කහ (යෙලෝ) නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන ඇති එංගලන්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කුණාටුව හේතුවෙන් පැයකට සැතපුම් 90ක පමණ වේගයෙන් හමා යන සුළං නිසා නිවෙස්වල වහලවල් ගැළවී ගසාගෙන යෑම, විදුලි කණු කඩා වැටීම නිසා විදුලිය ඇන හිටීම, ගස් ඉදිරී බිම වැටීම සිදු විය හැකි බවට අනතුරු අඟවා තිබේ. මෙම කුණාටුවට මුහුණ දීම සඳහා ලන්ඩනයේ පාසල් සිය ගණනක් ඊයේ දිනයේ වසා දැමීමට තීරණය කර තිබූ අතර වේල්සයේ සියලූ දුම්රිය ගමන් අවලංගු කිරීමට පියවර ගෙන තිබිණි. හමුදා භටයන් මහා මාර්ගවල හදිසි තත්ත්වයක් ඇති වුවහොත් සහය වීම සඳහා සීරුවෙන් තබා ඇති බව වාර්තා වී තිබේ. මෙහිදී එංගලන්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව කුණාටුව හේතුවෙන් දරුණු කාලගුණ තත්ත්වයක් ඇති වන බවට රතු නිවේදනයක් නිකුත් කර ඇත්තේ ලන්ඩනය, ගිනිකොණදිග හා නැගෙනහිර එංගලන්තය ඩෙවොන්, කෝන්වෝල් හා සමර්සෙට් මුහුදුබඩ ප‍්‍රදේශවලටය. මෙහිදී පැයට සැතපුම් 80ක වේගයෙන් හමන සුළං හේතුවෙන් ඇම්බර් අනතුරු ඇඟවීමක් දකුණු මැන්චෙස්ටර් නගරයට හා වේල්සයට නිකුත් කර ඇති අතර ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය, උතුර, වයඹදිග හා ඊසානදිග එංගලන්තය, එංගලන්තයේ මධ්‍යම කඳුකර ප‍්‍රදේශය සඳහා කහ නිවේදනයක් නිකුත් කර තිබේ. 2018 වසරෙන් පසු එංගලන්තයේ මෙතරම් දරුණු ආපදා තත්ත්වයක් වෙනුවෙන් රතු අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කළ ප‍්‍රථම අවස්ථාව මෙය සේ සැළකේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment