එංගලන්තයේ සහ වේල්සයේ බහුතරය ක්‍රිස්තියානින් නොවේ

766

තුන්වන චාල්ස් රජුගේ කිරීටය ගැන නොකියන කතාව:

බ්‍රිතාන්‍යයේ පළමු හින්දු අගමැති ලෙස රිෂි සුනක් පත්වී සති කිහිපයකට පසුව පසුගිය අඟහරුවාදා නිකුත් කරන ලද සංගණන දත්ත අනුව එංගලන්තයේ සහ වේල්සයේ ජනගහනයේ ආගමික අනුපාතය ගැන වැදගත් තොරතුරු හෙළිව ඇත. ඒ අනුව ක්‍රිස්තියානිය සුරකින තුන්වන චාල්ස් රජු කිරීටය හොබවන රටට කුමක් සිදුවී තිබේද? මෙම සංගණන දත්ත අනුව එංගලන්තයේ සහ වේල්සයේ ජනයාගෙන් ක්‍රිස්තියානි ලෙස හඳුනාගෙන ඇති ප්‍රමාණය බහුතරය නොවේ.

එය ජනගහනයෙන් අඩකටත් වඩා අඩුය. එංගලන්තයේ සහ වේල්සයේ ජීවත්වන ජනයාගෙන් සියයට 46.2ක් පමණ ජනතාවක් තමන්ව ක්‍රිස්තියානුවන් ලෙස හඳුන්වා දී ඇති අතර එය ජනගහනයෙන් භාගයකට වඩා අඩුය. එය 2011 සංගණන දත්තවල පෙන්නුම් කළ ක්‍රිස්තියානි ආගමිකයන්ගේ ප්‍රමාණයට වඩා සියයට 13.1කින් පහත වැටී ඇත. එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාල දත්ත අනුව පෙනෙන්නේ ක්‍රිස්තියානි ප්‍රජාවට පසුව දෙවනියට සිටින ප්‍රජාව පවසන්නේ තමන්ට ආගමක් නොමැති බවයි. ඔවුහු අනාගමිකයෝ වෙති. මේ ගැන ප්‍රතිචාර දක්වන යෝර්ක්හි අගරදගුරු ස්ටීවන් කොට්‍රලේ පවසන්නේ කාලයත් සමඟ ක්‍රිස්තියානි අනුපාතය අඩුවීම “මහා පුදුමයක්” නොවන බවයි. නමුත් යුරෝපයේ ජීවන වියදම් අර්බුදයකට සහ යුද්ධයකට මුහුණ දෙමින් සිටින මිනිසුන්ට තවමත් අධ්‍යාත්මික පෝෂණය අවශ්‍ය බව ඔහු කියයි. නමුත් එංගලන්තයේ සහ වේල්සයේ මුස්ලිම් ජනගහනය වේගවත් වර්ධනයක් පෙන්නුම් කර තිබේ. “ආගමක් නැත” යනුවෙන් ප්‍රකාශ කරන පිරිස සියයට 37% වන අතර එය පසුගිය 2011 වසරට වඩා 12% කින් ඉහළ ගොස් තිබේ. මුස්ලිම්වරුන් ජනගහනය මිලියන 3.9 ක් එනම් ජනගහනයෙන් සියයට 6.5 ක් වන අතර එය 2011 පැවතියේ සියයට 4.9 ලෙසය. ඒ අනුව එංගලන්තයේ සහ වේල්සයේ මුස්ලිම් ව්‍යාප්තිය වේගවත්ව පැතිරෙන බවනම් පැහැදිලිය. එය යුරෝපය මෙන්ම ලොව පුරාම සිදුවේ. ඇත්තෙන්ම 2035 න් පසුව ලොව වැඩියෙන්ම උපදින්නේ මුස්ලිම් දරුවන්ය. මන්ද ඒ කාලය වන විට ලොව ක්‍රිස්තියානි ජනගහන වර්ධන වේගය අඩුවීම නිසා මුස්ලිම් දරු උපත් වර්ධනය වීම නොවැළැක්විය හැකි තත්ත්වයක් වේ. වර්තමානය වන විට ලෝක ජනගහනය බිලියන 8කි. 2050 දී මෙම ප්‍රමාණය බිලියන 9.8 ක් වන අතර 2100 එම ප්‍රමාණය බිලියන 11.2 කි. ක්‍රිස්තියානි ජනගහනය අඩුවීම ඉහතින් පෙන්වූ දත්ත අනුව සක්සුදක්සේ පැහැදිලිය.

සංගණනය අනුව එංගලන්තයේ සහ වේල්සයේ හින්දු ජනගහනය මිලියන 1 ක් සහ සික් ජනගහනය 524,000 වන අතර, බෞද්ධයන් ප්‍රමාණය 273,000 වන අතර යුදෙව්වන් ගණන 271,000 වේ. 2011ට වඩා එරට වෙසෙන බෞද්ධයන් ප්‍රමාණය යුදෙව් ජනගහනය අභිබවා ගොස් ඇති බව සංඛ්‍යාලේඛන කාර්යාල දත්ත පෙන්නා දෙයි. මේ නවතම ජනගහන දත්ත වාර්තා පිළිබඳව එරට ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ “නිසැකවම එක්සත් රාජධානිය විවිධ ජාතීන් ආගමිකයන් ජීවත්වන රටක් වන අතර ඒ බව සාදරයෙන් පිළිගත යුතු වේ” යනුවෙනි.

හින්දු බැතිමතුන් ආලෝකයේ උත්සවය වන දීපවාලි උත්සවය සනිටුහන් කළ ඔක්තෝබර් 24 වැනිදා, හිටපු අගමැතිනි ලිස් ට්‍රස් වෙනුවට අගමැති සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා වීමේ තරගයෙන් සුනක් ජයග්‍රහණය කළේය. ඊළඟ දවසේ, ඩව්නිං වීදියේ අංක 10 හි නව අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ පළමු විධිමත් උත්සවය වූයේ දීපාවලි සැමරීමේ උත්සවයයි. රිෂී සුනක්ගේ මුතුන් මිත්තන් ඉන්දියාවේ පන්ජාබ්හි උපත ලැබූ අතර 1960 ගණන්වල නැගෙනහිර අප්‍රිකාවේ සිට ඔවුන්ගේ පවුල් සමඟ එක්සත් රාජධානියට සංක්‍රමණය වූහ. සුනක් 1980 දී සවුත්හැම්ප්ටන් හි උපත ලැබූ අතර, ඔහුගේ පියා ජීපීවරයකු වූ අතර ඔහුගේ මව ඇගේම ඔසුසලක් පවත්වාගෙන ගියාය. මේ හින්දු අගමැතිගේ අතීත කතාවයි.

2015 දී ලෝක ජනගහනයෙන් 7% ප්‍රමාණයක් බෞද්ධයන් වුවත් ඒ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. වර්තමානයේ ලෝක ජනගහනයෙන් මිලියන 500කට ආසන්න පිරිසක් බෞද්ධයෝ වෙති. නමුත් 2060 දී ලෝක බෞද්ධ ප්‍රතිශතය 5% වන විට මුස්ලිම් ප්‍රතිශතය 31% දක්වා ඉහළ නඟී. එවිට ලෝකයේ ක්‍රිස්තියානි ප්‍රතිශතය 32%කි. 2015 දී ලොව වෙසෙන ක්‍රිස්තියානි ප්‍රතිශතය 31% වන අතර 2060 දී ඔවුනගේ ප්‍රතිශතය වැඩිවන්නේ 1%කින් පමණි. නමුත් 2015 දී 24% වන මුස්ලිම් ජනගහනය 2060 දී 7% කින් වර්ධනය වෙයි. 2015 දී ලෝක ජනගහනයෙන් 15% ක් වූ හින්දු ප්‍රතිශතය 2060 දී 14% දක්වා පහළ බසී. 2015 දී ලොව වෙසෙන අනාගමිකයන්ගේ ප්‍රමාණය 16% වූ අතර එය 2060 දී 13% දක්වාද පහළ බසී. මේ කරුණු 2019 දී ඇමෙරිකානු වාර්තාවක් මගින් ප්‍රකාශ කර තිබුණු අතර නවතම එංගලන්ත වාර්තා අනුව ඒවා බොරු නොවන බව පැහැදිලි වේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment