එංගලන්තය දුගී රටවල් 65කින් ගෙන්වන බඩුවල ආනයන බදු කපා හරී

318

ඇඟලුම්, පලතුරු වර්ග ඇතුළු ලොව දුගීම රටවල් ප්‍රමුඛ සංවර්ධනය වෙමින් පවතින රටවල් 65කින් ආනයනය කරනු ලබන භාණ්ඩ හා පාරිභෝගික ද්‍රව්‍ය සිය ගණනක ආනයන බදු සියයට 0 සිට අවම බදු ප්‍රමාණයක් දක්වා කපා හැරීමට එංගලන්ත රජය විසින් තීරණය කර තිබේ. මේ යටතේ එංගලන්තය විසින් නිෂ්පාදනය කරනු නොලබන ඇඟලුම්, සපත්තු හා ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අය කරනු ලබන ආනයන බදු මහා පරිමාණයෙන් කපා දැමීමට තීරණය වී ඇති අතර මේ හරහා දුගී රටවල් ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් 65ක් සමග පවතින වෙළෙඳ සබඳතා ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව එංගලන්තයේ ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ආනයන බදු කපා හැරෙන භාණ්ඩ හා පාරිභෝගික ද්‍රව්‍යවලට අප්‍රිකානු රටවලින් ආනයනය කෙරෙන භාණ්ඩවලින් සියයට 99ක් අයත් වන බව එම දෙපාර්තමේන්තුව කියයි. ඉකුත් ජනවාරි මාසයේ සිට එංගලන්තය විසින් ක්‍රියාත්මක කර ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ යෝජනා ක්‍රමය යටතේ මෙම ආනයන බදු කපා හැරීම සිදු කෙරෙන අතර ඒ හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල් 65ක ආර්ථිකයන්ට සහය වීම, එංගලන්තයේ වැඩි වෙමින් පවතින ජීවන වියදම අඩු කිරීම හා එංගලන්තයේ ව්‍යාපාර ආයතන සඳහා සහය වීම යන අරමුණු බලපා ඇති බව ජාත්‍යන්තර වෙළෙඳ ලේකම් ඈන් මරී ට්‍රවෛල්යාන් පවසන්නීය. මෙම බදු කපා හැරීම යටතේ ශීත ඍතුවේ එංගලන්තයේ නොවැවෙන පිපිඤ්ඤා මෙන්ම කපු ඇඳුම් වැනි ඇඟලුම් වැඩි වශයෙන් වෙළඳපළට පැමිණීමෙන් එම භාණ්ඩවල මිල ගණන් අඩු වීම සිදු වනු ඇතැයි එංගලන්ත බලධාරීහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment